යොවුන් ඔලිම්පික් තරඟාවලියෙන් ලෝකඩ පදක්කමක්

යොවුන් ඔලිම්පික් තරඟාවලියෙන් ලෝකඩ පදක්කමක්

August 22, 2014   12:54 pm

චීනයේ, නැන්ජින් හි පැවැත්වෙන දෙවැනි යොවුන් ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් මිශ්‍ර යුගල ඉසව්වේදී ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ සචීන් ඩයස් සමත්ව තිබේ.

ඔහු සමග ක්‍රීඩා කළ අනෙක් ක්‍රීඩකයා චීනයේ බින්ජියාඕය.

මෙම තරඟාවලිය පසුගිය 16 වැනිදා ආරම්භ වූ අතර එය ලබන 28 දක්වා පැවැත්වෙයි.

ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු මීට සහභාගි වන අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු ක්‍රීඩිකාවන්ය.

බැඩ්මින්ටන් ක්‍රීඩිකා තිළිණි හෙන්දහේවා සහ පිහිනුම් ක්‍රීඩිකා මිචිකෝ රහීම් කණ්‌ඩායමට එක්‌වී සිටින එම ක්‍රීඩිකාවන්ය.

මෙහිදී මිචිකෝ රහීම් මීටර 50 සහ 100 නිදහස්‌ ආර ඉසව් නියෝජනය කරයි.

ඊට අමතරව මැතිව් අබේසිංහ(පිහිනුම්), අනුරාධ රන්දුණුගේ(මලල ක්‍රීඩා), සචින් ඩයස්‌ (බැඩ්මින්ටන්), චාමික සඳරුවන් සහ ඉසුරු මධුෂාන් (වෙරළ වොලිබෝල්), විශාන් ගුණතිලක(ඔරු පැදීම) සහ තිවංක දිසානායක(ටෙනිස්‌) ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන ක්‍රීඩකයෝ වෙති.

සංචාරක කණ්‌ඩායමේ ප්‍රධානියා ලෙස ප්‍රදීප් නන්දන මහතා කටයුතු කරයි.

ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටුවට අනුබද්ධිත රටවල් 205 න් 175 කට අධික රටවල් සංඛ්‍යාවක්‌ මෙවර යොවුන් ඔලිම්පික්‌ තරගාවලිය නියෝජනය කරන බව සඳහන්ය.