මහ වැසි තවදුරටත් - ගාල්ලේ මාර්ග ජලයෙන් යටවෙයි

මහ වැසි තවදුරටත් - ගාල්ලේ මාර්ග ජලයෙන් යටවෙයි

August 22, 2014   12:16 pm

දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න මහතා සඳහන් කළේ බස්නාහිර, මධ්‍යම සබරගමුව සහ දකුණ යන පළාත් වලට ඉදිරි පැය 24 තුළ තවදුරටත් වැසි අපේක්ෂා කළ හැකි බවයි.

මේ අතර මධ්‍යම කදුකර ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ කඩින් කඩ වැසි ඇද හැළුණු අතර මේ සමග මීදුම් තත්ත්වයක් ද මතුව ඇත.

වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ග ලිස්සන සුළු බැවින් එම මාර්ගවල වාහන ධාවනයේදි විමසිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි .

එමෙන්ම මීදුම පවතින අවස්ථාවල වාහනවල ප්‍රධාන ලාම්පු දල්වා ගමන් කරන ලෙසත් පොලිසිය ඉල්ලා සිටියි.

මේ අතර අද අළුයම සිට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගාල්ල නගරය ආශ්‍රිත මාර්ග රැසක් ජලයෙන් යටවී තිබේ.

ගලගෙදර, කහදුව වත්ත, කරාපිටිය, ආදි ප්‍රදේශවල ජනතාව මෙ හේතුවෙන් දුෂ්කරතාවට පත්ව ඇතැයි අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

අම්බලන්ගොඩ, බලපිටිය, කොස්ගොඩ, හික්කඩුව ආදි ප්‍රදේශවලත් මේ වන විට දැඩි වර්ෂාවක් පවතින අතර ප්‍රදේශයේ ධීවරයින් මුහුදු යෑමෙන් වැළකී ඇත.