අධිවේගයේදී නි.ඇමතිට දඩකොළ දුන්නු පොලිස් නිලධාරියා තවත් නඩුවකට පටලලා

අධිවේගයේදී නි.ඇමතිට දඩකොළ දුන්නු පොලිස් නිලධාරියා තවත් නඩුවකට පටලලා

August 22, 2014   07:04 am

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පොලිස් නිලධාරින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය ඇප නියම කර තිබේ.

නඩුවේ පළමු විත්තිකරු මෑතකදි දක්ෂිණ අධිවේගි මාර්ගයේ අධික වේගයෙන් රිය පැදවීමේ සිද්ධියට අදාළව නියෝජ්‍ය ඇමති හේමාල් ගුණසේකරට දඩ මුදල් ගෙවීමට නියම කළ සුමින්ද සමන් නැමති පොලිස් නිලධාරියා බව සඳහන්ය.

දෙවන විත්තිකරු වන්නේ දේශාන් කුමාර බණ්ඩාර නැමති පොලිස් නිලධාරියෙකි.

2009 වසරේ මැයි මස 25 වනදා මත්පැන් බෝතල් රැගෙන ගිය කාන්තාවකට එහි තිබු මත්පැන් බෝතල් ප්‍රමාණය අඩු කිරීමට සඳහා පළමු විත්තිකරු රුපියල් 1000ක් ලබාගත් අතර අනෙක් විත්තිකරු රුපියල් 10 000ක් ලබාගත් බවටත් චෝදනා එල්ල වී තිබේ.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුව නීතිමය වශයෙන් පවරන ලද නඩුවක් නොව නියෝජ්‍ය ඇමතිවරයෙකුට දඩ ගැසිමේ රාජකාරිය කළ සුමින්ද සමන්ගෙන් පලිගැනිම සඳහා ඔහුට එරෙහිව ගොතන ලද නඩුවක් බවයි.

ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගත් කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා විත්තිකරුවන් දෙදෙනාට රුපියල් 25 000 බැගින් මුදල් ඇප හා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට නියෝග කළේය.

නඩුව සැප්තැම්බර් මස පළමු වැනි දින යළි කැඳවිමට නියමිතය.