සෞඛ්‍ය වර්ජනය අවසන්ද?

සෞඛ්‍ය වර්ජනය අවසන්ද?

August 21, 2014   07:21 am

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිතිවල ගැටළු වහා විසඳීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ ශ්‍රේණි 27ක් නියෝජනය කරන ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව ඉදිරිපත් කළ යෝජනා 05ක් පිළිබදව අවධානය යොමුකරමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

සෞඛ්‍ය ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටු සාමාජිකයින් සමඟ ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ජාවක දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම උපදෙස් ලබා දී තිබේ.

අදාළ විසදුම් මාස 03ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ අතර සිය ගැටළු වලට විසඳුම් ලබාදෙන බවට ජනාධිපතිවරයා වු පොරොන්දුව හේතුවෙන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද පෙරවරුවේ සිට නතර කරන බව ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව පවසයි.

ඒ පිළිබඳ පැහැදිලි කරන එහි කැඳවුම්කරු එච්.පී.සෝමරත්න මහතා කියා සිටියේ මාස 3ක් තුළ විසඳුම් ලබාදීමට පොරොන්දුවීම හේතුවෙන් අද (21)පෙ.ව 6.00 සිට වර්ජනය නැවැත්වීමට ක්‍රියා කරන බවයි.

කොටුව දුම්රියපළ ඉදිරිපිට උපවාසය තාමත් පැවැත්වෙන නමුත් ජනාධිපතිවරයාගේ පොරොන්දුව ලිඛිතව අද දහවල් වන විට ලැබෙනු ඇති බවත්,එය ලිඛිතව ලැබුණු වහාම උපවාසකරුවන් ඉවත්කර ගැනීමටද කටයුතු කරන බව හෙතෙම කියා සිටියේය.

එහෙත් තම සංගමය ආරම්භකර ඇති වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා සුව සේවා සංගමය පවසයි.

එහි සභාපති ඩී.ජයලාල් මහතා කියා සිටියේ තමන් සමඟ කිසිදු බලධාරියෙක් අදාළ ගැටළු සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ජා කර නොමැති බවයි.

කෙසේ වෙතත් සමස්ත ලංකා සුව සේවා සංගමයේ එම තීරණය සම්බන්ධයෙන් ඒකාබද්ධ වෘත්තීය සමිතියේ කැදවුම්කරු එච්.පී.සෝමරත්න මහතා කියා සිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ ගැටළු වලට විසඳුම් ඉල්ලා මුලින්ම අරගලය ආරම්භ කරනු ලැබුවේ තමන් වුවද පසුව සෙස්සවුන්ද ඉදිරිපත් වූ බවයි.

කෙසේ වෙතත් තම සංගමය වර්ජනය අත්හිටුවන බැවින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලපෑමක් කිරීමට හයියක් ඇත්තේ කාටද යන්නත්, ඉල්ලීම් දිනා දී ඇත්තේ කවුරුන්ද යන්නත් තහවුරු වනු ඇති බව එච්.පී සෝමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.