ෆොන්සේකාගේ ලේකම්ට වරෙන්තු

ෆොන්සේකාගේ ලේකම්ට වරෙන්තු

August 20, 2014   05:03 pm

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ හිටපු යුධ හමුදා නිලධාරි සේනක හරිප්‍රිය ද සිල්වා මහතාට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ නීති විරෝධි අයුරින් හමුදා සෙබළුන් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් පනවා තිබු නඩුව අද (20) විභාගයට ගත් අවස්ථාවේදී ඊට පෙනී නොසිටීම හේතුවෙනි.

කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණි වල්ගම මහත්මිය විසින් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට සහ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ ලේකම්ව සිටි සේනක හරිප්‍රිය ද සිල්වා යන මහත්වරුන්ට නීති විරෝධි අයුරින් හමුදා සෙබළුන් රඳවා තබා ගැනිමට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

එමෙන්ම යුධ හමුදාව හැරගිය සෙබළුන් රජයට ඇති පක්ෂපාතිභාවය අහෝසි කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට චෝදනා එල්ල වී ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පිරිස් මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ ෆොන්සේකා මහතා රෝගී තත්වයකින් පසුවීම හේතුවෙන් සහ ඌව පළත් සභා ජන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු වලට සහභාගි වීමට ඔහුට අවශ්‍ය බැවින් ඊළග නඩු විභාගය සඳහා දීර්ඝ දිනයක් ලබාදෙන ලෙසයි.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විනිසුරුවරිය ලබන සැප්තැම්බර් මස 04 වන දිනට නඩුව යළි කැඳවීමට නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.