හබරාදූවේ සිව්දරු මවක් මාස 4ක් ති‍ස්සේ ආගිය අතක් නෑ

හබරාදූවේ සිව්දරු මවක් මාස 4ක් ති‍ස්සේ ආගිය අතක් නෑ

August 20, 2014   03:02 pm

හබරාදුව, හරුමල්ගොඩ, දුව මලලගම පදිංචි ජිනාදරි ගංගා මල්කාන්ති නැමැති සිව්දරු මවක් ඉකුත් (2014.04.17) සිට අතුරුදන් වී ඇති බවට ඇගේ සැමියා විසින් හබරාදුව පොලිසියට පැමිණිලි කර තිබේ.

පැමිණිල්ල කර ඇත්තේ ඉකුත් අප්‍රේල් 24 වැනිදාය.

එදින තම මවගේ නිවසට යන බව පවසා ඇති මෙම සිව්දරු මව නැවත නිවසට නොපැමිණී බව ද සැමියා කළ පැමිණිල්ලේ සඳහන්ය.

වයස අවුරුදු 39ක් වු ඇය උස අඩි 4 අ`ගල් 10ක්වේ.

විමල් චන්ද්‍රසිරි මහතා කියා සිටියේ දරුවන් සිව්දෙනාගෙන් තිදෙනෙකු ගැහැණු දරුවන් බවයි.

බාලම පිරිමි දරුවාට වයස අවුරුදු තුනහමාරක බවත්, අනෙක් ගැහැණු දරුවන් තිදෙනා පිළිවෙළින් අවුරුදු 5, 11 හා 14 වයස්වල පසුවන බවද හෙතෙම පැවසුවේය.

කුලී වැඩ කරමින් ළමුන් සිව්දෙනා රැක බලාගැනීමට තමන් දුක් විඳින බවත්, බිරිඳ ගැන සොයා බැලීමට පොලීසියට හැර වෙනත් බලධාරියෙකුට කියන්නට ලියන්නට තරම් තේරුමක් තමන්ට නැති බවත්, ඒ මහතා කියා සිටියේය.

පොලීසියට කළ පැමිණිල්ල ගැන සොයාබලන නමුත් පොලීසියෙන් විශේෂ තොරතුරක් දැනගන්නට නැතැයිද ඔහු පැවසුවේය.

ඇය පිළිබඳ තොරතුරක් වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ඒ.ඒල් විමල් චන්ද්‍රසිරි මහතාට දන්වන මෙන් පවුලේ ඥාතින් ඉල්ලා සිටියි.

විමල් චන්ද්‍රසිරි මහතාගේ දුරකථනය අංකය - 076 6309028.