ජයලලිතාගේ ගෝරනාඩුව ඵලදරයි - මෝඩි විශේෂ රැස්වීමක් කැඳවයි

ජයලලිතාගේ ගෝරනාඩුව ඵලදරයි - මෝඩි විශේෂ රැස්වීමක් කැඳවයි

August 20, 2014   01:09 pm

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ධීවර ගැටළුවට දිගුකාලීන විසදුමක් ළඟා කර ගැනීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය තුළ අද (20) විශේෂ රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මෙම රැස්වීම කැඳවා ඇති බව සඳහන්ය.

එහිදී මුහුදුසීමා උල්ලංඝණය කරමින් ධීවර කටයුතු නිරතවීම පිළිබඳව සහ ඉන්දීය ධීවරයින්ගේ සුබසාධනය සම්බන්ධයෙන් සාකච්ජා කෙරෙනු ඇති බව වාර්තා වේ.

එම රැස්වීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධාන ලේකම් නිපේන්ද්‍ර මිස්‍රාගේ මුලිකත්වයෙන්, එරට කෘෂිකර්ම සහ ස්වදේශ කටයුතු පිළිබද අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

දෙරට අතර පවතින ධීවර ගැටළුව විසඳන ලෙස ඉල්ලා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් වාර කිහිපයකදීම ඉන්දීය අගමැතිට ලිපි ලියමින් මධ්‍යම රජයට බලපෑම් කිරීම හේතුවෙන් මෙම රැස්වීම සංවිධානය කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ලබන 23 වනදා පම්බන් පාළම හරස් කරමින් උද්ඝෝෂණයක නිරතවීමට රාමේෂ්වරම් ධීවරයින් තීරණය කර ඇත.

මෙරට අත්අඩංගුවේ පසුවු ඉන්දීය ධීවරයින් නිදහස් කළ ද ඔවුන්ගේ ධීවර යාත්‍රා නිදහස් නොකිරීමට ශ්‍රී ලංකා රජය ගත් පියවරට විරෝධතාව පළ කරමින් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

ධීවර සංගම් 11ක නායකයින්ගේ සහභාගීත්වයෙන් අද පැවති විශේෂ රැසීවීමක දී මෙම තීරණයට එළඹ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.