ශ්‍රී ලංකාව සම්බන්ධ පරීක්ෂණයේදී බැන්කි මූන් පිල්ලෙට නිතරම සහය දෙනවා

ශ්‍රී ලංකාව සම්බන්ධ පරීක්ෂණයේදී බැන්කි මූන් පිල්ලෙට නිතරම සහය දෙනවා

August 20, 2014   12:29 pm

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකෙරෙන ජාත්‍යන්තර පරික්ෂණය සඳහා සහය ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මුන් මහතා නැවතවරක් ඉල්ලීමක් කර තිබේ.

එම සංවිධානයේ දෛනික මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මුන් මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆන් ඩුජාරික් මෙය ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

එහිදී ඔහු පවසා ඇත්තේ බැන්කි මුන් මහතා අදාළ පරීක්ෂණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට නිරන්තරයෙන් සහය දක්වන බවයි.

කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන අදාළ පරීක්ෂණය සඳහා සහයෝගය දැක්වීම මෙරට රජයට වැදගත් වනු ඇති බව බැන්කි මුන් මහතා ප්‍රකාශ කර ඇත.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ ක්‍රියාපරිපාටියට අනුව කටයුතු කිරීම මගින් ශ්‍රී ලංකාව සංවර්ධනය කරා යන ගමන සාර්ථක කර ගැනීමට හැකි වනු ඇති බවත්, රට තුළ සාමය පවත්වාගෙන යාමට සහ මානව හිමිකම් සුරැකීමට එය පිටිවහලක් වනු ඇති බවත්, බැන්කි මුන් මහතා සඳහන් කළ බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ති‍ෙබ්.