සාජා ගිය ලාංකික කත වැඩ අනා ගනී

සාජා ගිය ලාංකික කත වැඩ අනා ගනී

August 20, 2014   10:27 am

සාජා හි ගෘහ සේවිකාවක වශයෙන් රැකියාවට ගිය ශ්‍රී ලාංකික කතක් ඇය සේවය කළ නිවසේ 70 හැවිරිදි කාන්තාවකට හිරිහැර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.

හිරිහැරයට ලක්වූ අයිෂා නැමැති කාන්තාවගේ පුතා බව පැවසෙන ඔමාර් නැමැත්තා විසින් මෙම ශ්‍රී ලාංකික කත සිය මවගේ තනියට නිවසේ රඳවාගෙන මව බලා ගැනීමට හා නිවසේ වැඩපළ කිරීමට අවස්ථාව දී ඇත.

මෙම සිද්ධිය ගැන එරට මාධ්‍ය වාර්තා කරන ආකාරයට ශ්‍රී ලාංකික කතට සාජා නිවසේ වැඩිහිටි කාන්තාව සලකා ඇත්තේ ඔවුන්ගේම දරුවෙකුට ලෙස බව කියැවේ.

එහෙත් ඇය වරින් වර සිය මව නොසලකා, හිතු මනාපෙට කටයුතු කරමින් ප්‍රකෝපකාරීව හැසිරෙන නිසා පුතා මේ සිද්ධිය පොලීසියට පැමිණිලි කර ඇතැයි සඳහන් වේ.

ඇය හිටිහැටියේ වෙනස් වූ බවත්, තමන්ට හිරිහැර කරන බවත්, නිවසේ භාණ්ඩවලට ද හානි කරන බවත්, ශ්‍රී ලාංකික කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩිහිටි කාන්තාව පොලීසියට පවසා තිබේ.

මුලදී දෙවඟනක ලෙස සිතුවත් පසුව ඇය යක්ෂාවේෂයෙන් ක්‍රියා කළ බවට එම කාන්තාව මාධ්‍යයට පවසා ඇත.

තමන් කළ වරද ගැන පසුතැවෙන බවත් නැවත එම නිවසට යාමට ඉඩදෙන ලෙසත් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික කත පොලීසියෙන් ඉල්ලා ඇතැයිද කියැවේ.