ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්  ඉන්දියාවේ  පැන නැගී ඇති ගැටලු ගැන කනගාටු විය යුතු නෑ

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවේ පැන නැගී ඇති ගැටලු ගැන කනගාටු විය යුතු නෑ

August 19, 2014   05:29 pm

ශ්‍රී ලංකා රජය විසින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සියයට 95ක ප්‍රතිශතයක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියන් ස්වාමි මහතා පවසයි.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්වීපාර්ශවික ගිවිසුමක් වන අතර එය ක්‍රියාත්මක කරන ලෙස බලකිරීමට ඉන්දීය රජයට අවශ්‍යතාවක් නොපවතින බව ස්වාමි මහතා ප්‍රකාශ කරයි.

කොළඹදී පැවැත්වෙන 4 වන ආරක්ෂක සම්මන්ත්‍රණය සඳහා සහභාගී වීමට මෙරටට පැමිණ සිටින භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියන් ස්වාමි මහතා අද දෙරණ සමඟ සිදුකළ විශේෂ සාකච්ඡාවකදී මේ බව පැවසීය.

එහිදී ඉන්දියාව තුළ ශ්‍රී ලංකා රජයට එරෙහිව ක්‍රියාත්මක වෙමින් පවතින අභ්‍යන්තර ගැටලු සම්බන්ධයෙන් අද දෙරණ සුබ්‍රමනියම් ස්වාමි මහතාගෙන් විමසීමක් කළේය.

ඔහු පැවසුවේ මෙරට රජයට එරෙහිව උද්ඝෝෂණය කරන්නන් පිළිබඳව ඉන්දීය වත්මන් රජය සැලකිල්ලක් නොදක්වන බවයි.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පැවති මැතිවරණ වලින් පරාජය වු පිරිස් බව සුබ්‍රමනියන් ස්වාමි මහතා පැවසීය.

එමෙන්ම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය රජය කිසිදු විටක ප්‍රාන්ත පක්ෂ මත කටයුතු නොකරන බව ඔහු ප්‍රකාශ කළේය.

ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය මධ්‍යම රජය විසින් තීරණය කරන බව සහ එය ප්‍රාන්ත රාජ්‍යයන්ගේ උවමනාවන් මත තීරණය නොවන බව ද අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් සුබ්‍රමනියන් ස්වාමි මහතා කීවේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සංස්කෘතිමය වශයෙන් සබඳතා පවත්වන අසල්වැසි රාජ්‍යයන් වීම හේතුවෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව තුළ පැන නැගී ඇති ගැටලු කෙරෙහි කනගාටු නොවිය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.