ස්ථීර තැන්පතු දාන්න අය වැයෙන් මුදල් වෙන් කරන්නේ නෑ

ස්ථීර තැන්පතු දාන්න අය වැයෙන් මුදල් වෙන් කරන්නේ නෑ

August 1, 2014   04:32 pm

අය වැයෙන් සංවර්ධනයට වෙන් කරන මුදල් රාජ්‍ය ආයතනවලට , අමාත්‍යංශ වලට ලබාදෙන බවත්, ඒවායේ නිලධාරීන් ඒ මුදල් ස්ථීර තැන්පතු යොදා පොලිය ලබාගන්නා බවත් වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

එය රටේ ජනතාවට කරන ජාතික අපරාධයක් බවත්, ඒ මුදල් ප්‍රතිඵල දායක විදියට යෙදවිය යුතුව ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියි.

එසේ ප්‍රතිඵලදායක ලෙස නොයොදන්නේනම් අය වැයෙන් මුදල් වෙන් නොකරන බව ජයසේකර මහතා කියා සිටියේ අද (01) මුදල් හා ක්‍රමසම්පාධන අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මැතිතුමා ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් වයඹ පළාත්සභාවේ පැවති පූර්ව අය වැය යෝජනා සම්බන්ධ සාකච්ඡාවේදීය.

ලංකාවේ ප්‍රථම වරට අය වැය යෝජනා පිළිඹඳව පළාත් රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන අධිකාරිය දැනුවත්කිරීම සඳහා මෙම සාකච්ඡාව සංවිධානය කෙරුණු බව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

කෙසේ වෙතත් මෙම අවස්ථාවට එක්වුණු දයාසිරි ජයසේකර මහතා මෙසේද සඳහන් කළේය.

“ මේ රටේ ආර්ථිකය ගැන අද විවිධ අය විවිධ කෝණවලින් බලනවා. අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පය අනුව ආර්ථිකය අරන් යන ගමන් මාර්ගය ගැන බලනවා.සමහර අය ඒක විවේචනය කරනවා. එකේ හරය දන්නේ පී. බී . ජයසුන්දර මැතිතුමා පමණයි. මහින්ද චින්තන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ දේශීය ආර්ථිකය, අපනයන වැඩිකිරීම, ග්‍රාමීය නිෂ්පාදන වැඩිකරගැනීමේ ආර්ථික මට්ටම සංවර්ධනය කිරීම . ජනාධිපතිතුමාගේ ආර්ථිකය හැසිරවීමේ න්‍යාය පී. බී. ජයසුන්දර මැතිතුමා දැනගෙන ඉන්නවා. අද ඉතාම ක්‍රමානුකූලව ආර්ථිකය ඉතාම ඉහළ තැනකට ඇවිත් තියනවා. ජනාධිපතිතුමා අරගෙන යන ක්‍රියාවලිය ගැන අපට විශාල ගෞරවයක් තියෙනවා. අපට ඉතිහාසයේ මුදල් නෑ කියලා ප්‍රශ්න තිබුණා.ඉස්සර අපි බැංකුවල ස්ථීර තැන්පතු දාලා හම්බකරා. මම රාජ්‍ය ගිණුම්කරක සභාවේ සහ කෝප් කමිටුවේ සාමාජිකයෙක් විදියට හිටියා. සල්ලි තියෙනවා. එව්වා හරියට පාවිච්චි කරන්න බැරිකම තියෙන්නේ. අවුරුද්ද පුරාම සල්ලි ඉල්ලුවාම එව්වා ස්ථීර තැන්පතු වල දානවා. බැංකු ටික හම්බ කරනවා, අපි ණය කාරයෝ වෙනවා. මම පළාත්සභාවේ නිලධාරීන්ටත් කියන්නේ සල්ලි ගන්නවානම් අරගෙන හරියට වියදම් කරලා වැඩේ කරන්න කියලා“

මේ අතර වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පී.බී ජයසුන්දරගේ ගුණ ගායනා කරන විට නිවාස,ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍ය විමල් වීරවංශ අමාත්‍යවරයා අවස්ථා ගණනාවකදීම පී.බී ට එරෙහිව කරුණු දක්වනු දැකිය හැකිවිය.

එසේම වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ආර්ථික වර්ධනයක් ගැන උදම් අනන විට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පසුගියදා ආර්ථික අර්බුදයක් පිළිබඳව මෙන්ම ආණ්ඩුවේ ගමන් මග අවදානම් සහගත බවද පෙන්වා දුන්නේය.