ආණ්ඩුව බලහත්කාරය පාවිච්චි කරලා සල්ලි වීසි කරලා ඡන්දය ගන්න උත්සාහ කරනවා

ආණ්ඩුව බලහත්කාරය පාවිච්චි කරලා සල්ලි වීසි කරලා ඡන්දය ගන්න උත්සාහ කරනවා

August 1, 2014   02:58 pm

ආණ්ඩුවේ බලය අහිමිවෙමින් යන බවත්, රාජපක්‍ෂවරු රැකගෙන සිටි අයත් දැන් තමන් ගැන බලන්න පටන්ගෙන ඇති බවත්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

මෙම වාතාවරණය යටතේ ඌව පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුව පසුබෑමකට ලක්ව ඇති බව පැහැදිලිව අවබෝධ වී ඇති නිසා මේදිනවල ජනතාවට වතුර පවා ලබාදෙමින් ඡන්ද ලබා ගැනීමේ වැඩපිළිවෙළක නිරත වෙන බව හෙතෙම පෙන්වාදෙයි.

බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී අද (01) මාධ්‍ය හමුවක් පවත්වමින් ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසූ අතර එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසීය.



ලබන අගොස්තු මස පස්වැනි දින ඌව පළාත් සභාව සඳහා නාමයෝජනා බාරදීමෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ කිසිදු රථ පෙළපාලියක් හෝ ශබ්ද වාහිනී යන්ත‍්‍ර උපයෝගී කරගන්නා ප‍්‍රචාරක කටයුතු පවත්වන්නේ නැහැ. අපේ මේ ආදර්ශය විශේෂයෙන්ම ආණ්ඩුව අනෙකුත් පක්‍ෂත් අනුගමනය කරයි කියලා අපි බලාපොරාත්තු වෙනවා. බොහෝ විට මොන තරම් හොඳ නීති තිබුණත් ඒ නීති කඩකරන්නේ ආණ්ඩුව. හැමදාම නීති කඩන ආණ්ඩුව මේ සැරේ කරන්නේ මොනවද කියලා අපි බලාගෙන ඉන්නවා. අඩුම ගාණේ 06 වැනිදාවත් මේ නීති පිළිපදිමින් කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

අපි මේ වනවිටත් බදුල්ල දිස්ති‍්‍රක්කය සහ මොණරාගල දිස්ති‍්‍රක්කයට අදාළ නාමයෝජනා සූදානම් කර අවසන්. ප‍්‍රධාන ලේකම්වරයා හැටියට මමත් දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත සහෝදරයාත් ප‍්‍රචාරක් ලේකම් විජිත හේරත් සහෝදරයාත් නාම යෝජනා මණ්ඩලයේ කටයුතු කළා. බදුල්ල දිස්ති‍්‍රක් නායක සහ පළාත් සභා නායක වශයෙන් අපේ පක්‍ෂයේ මධ්‍ය කමිටු සාමාජික සමන්ත විද්‍යාරත්න සහෝදරයා පත්කර තිබෙනවා. ඊට අමතරව බදුල්ල දිස්ති‍්‍රක්කය වෙනුවෙන් මධ්‍ය කමිටු සාමාජික සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර් සහෝදරයා, සුදත් බලගල්ල සහෝදරයා ඇතුළත් 21 දෙනෙකුගේ නාම යෝජනා සකස් කර තිබෙනවා.

මොණරාගල දිස්ති‍්‍රක්කය වෙනුවෙන් හිටපු පළාත් සභා මන්තී‍්‍ර ආර්.එම්.ජයවර්ධන සහෝදරයාගේ නායකත්වයෙන් 17දෙනෙකුගෙන් සමන්විත ඉතා ප‍්‍රබල කණ්ඩායමකට නාමයෝජනා ලබාදෙනවා. ජනතාවට සේවය කළ සහ දැනටමත් සේවය කරමින් සිටින ගුරුවරු, වෘත්තීය සමිති නායකයෝ, ගොවි නායකයෝ, ඇතුළු රාජ්‍ය අංශයේ හා විශේෂයෙන්ම වතු අංශයේ ජනතාව නියෝජනය කිරීමට සුදුසුකම් තිබෙන අයට නාමයෝජනා ලබාදෙනවා. අපේ නාමයෝජනා අතර අපරාධකාරයෝ, බාර්කාරයෝ, නයිට් ක්ලබ් ගාණේ යන අය නැහැ.

දැනටමත් අපි ප‍්‍රචාකර කටයුතු ආරම්භ කරමින් බදුල්ල දිස්ති‍්‍රක්කරයේ ජනහමු 150ක් පමණ පවත්වා තිබෙනවා. මොණරාගල දිස්ති‍්‍රක්කයේ ජනහමු 100කට වැඩිය පවත්වා තිබෙනවා. ජනතාව හමුවීමට ගිහින් ඔවුන්ගේ ප‍්‍රශ්න හඳුනා ගනිමින් සාකච්ඡුා කරමින් ඉන්නවා. 06 වැනිදාට පස්සේ මේ පළාත තුළ කුඩා ජනහමු අවම වශයෙන් 500ක් කරන ඉලක්කකයක් තිබෙනවා. බදුල්ල දිස්ති‍්‍රක්කයේ ජනහමු 300ක් සහ මොණරාගල දිස්ති‍්‍රක්කයේ 200 ක් පවත්වන්න සැලසුම් කර තිබෙනනවා. ඊට අමතරව ප‍්‍රධාන රැුලි බදුල්ල දිස්ති‍්‍රක්කයේ 30ක් සහ මොණරාගල දිස්ති‍්‍රක්කයේ 20ක් වශයෙන් රැුලි 50ක් සැලසුම් කර තිබෙනවා. ඊට අමතරව ගෙන් ගෙට ගිහින් පති‍්‍රකා බෙදාහරිමින් ජනතාව දැනුවත් කිරීමේ සාමාන්‍ය ප‍්‍රචාරක වැඩපිළිවෙල සහ මැතිවරණ නීතියට යටත්ව කළ හැකි සියලූ විකල්ප ප‍්‍රචාරක මාධ්‍යය අපි උපයෝගී කරගන්නවා. මේ හැම දේම අපි කරන්නේ උසස් පෙළ විභාගයට වෙනී සිටන දරුවන්ගේ විභාග කටයුතුවලට කිසිම බාධාවක් නොවන විදියටයි.

මැතිවරණය පවත්වන මේ පළාතේ ජනතාව විශේෂ ගැටළු ගණනාවකට මුහුණපා සිටිනවා. සාමාන්‍යයෙන් මේ කාලයේ නියඟය ඇති වුණත් මේ වර ජනතාවට පානීය ජලය ලබාගැනීම පවා බරපතළ පීඩාවකට පත්වන තත්ත්වයක් ඇතිවෙලා. විශේෂයෙන්ම බදුල්ල සහ මොණරාගල දිස්ති‍්‍රක්ක දෙක ජල ප‍්‍රශ්නය ඉතාම බරපතළව පවතින දිස්ති‍්‍රක්ක දෙකක්. වගාවන්ට ජලය ලබාගැනීමේ ප‍්‍රශ්නයට අමතරව බීමට ජලය ලබාගැනීම විශේෂයෙන්ම වැල්ලවාය, තනමල්විල, මොණරාගල ප‍්‍රදේශවල ඉතා බරපතළ තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ නියං තත්ත්වය නිර්මාණය වීම ඉතිහාසයේ පළවැනි වරට ඇතිවන දෙයක් නෙවෙයි. මේ වසරේ ටිකක් බරපතළ තත්ත්වයකට පත්වී තිබෙනවා. සාමන්‍යයෙන් ඇතිවන ප‍්‍රශ්නයකට උත්තර ලබාදීම ආණ්ඩුවක මූලික වගකීමක්.

වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්මයාගේ වසර 9ක පාලන කාලය තුළත් වියළි කලාපයේ ජනතාවගේ පානීය ජල ප‍්‍රශ්නය විසඳීමට ප‍්‍රමාණවත් ස්ථාවර ව්‍යාපෘතියක් සකස්කරලා නැහැ. දැයට කිරුළ කියලා රු. කෝටි 6,000ක්, 7,000ක් නාස්ති කරන්න සල්ලි තියෙනවා. නමුත් ආර්ථිකය ශක්තිමත් කරන්න දායක වෙන ජනතාවගේ මූලික පානීය ජල ප‍්‍රශ්නය විසඳන්න ආණ්ඩුවට සල්ලි නැහැ. ගුවන්යානා එන්නේ නැති ගුවන්තොටපොළවල් හදන්න සල්ලි තියෙනවා; නැව් එන්නේ නැති වරායවල් හදන්න සල්ලි තියෙනවා. නමුත් බොන්න වතුර ටිකක් දෙන්න සල්ලි වෙන්කරන්නේ නැහැ.

ජනතාවට සිදුවන විපත් තමන්ගේ දේශපාලන වාසියක් බවට පත්කරගන්න ආණ්ඩුව කි‍්‍රයාකරමින් සිටිනවා. අද පානීය ජලය නැති ප‍්‍රශ්නයත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ නම්වලින් පදනම් හදාගෙන ඒ පදනමේ නම ගහගත්ත බවුසර්වලින් ජනතාවට වතුර බෙදනවා. බොන්න වතුර නැතිව ඉන්න ජනතාවට ස්ථාවර ජල ව්‍යාපෘතියක් හදන්න කටයුතු කරනවා වෙනුවට මේ ඡන්දය වෙලාවේ බඩු බෙදන අතරේ වතුර බෙදන්නත් පටන් අරගෙන තිබෙනවා. ජනතාවට බොන්න වතුර නැති ප‍්‍රශ්නය පාවිච්චි කරගෙන වතුර බෙදලා ඡන්ද ඉල්ලන්න යන එක මිනිස්කමට ගැලපෙන්නේ නැහැ කියලා අපි හිතනවා. ඡන්දය නැති වෙනත් පළාත්වල ජනතාවට තියෙන වතුර ප‍්‍රශ්නයට ආණ්ඩුව මොකද කරන්නේ?

ආණ්ඩුව නියං සහනාධාර දෙන බව කියනවා. ඒකත් රැවටිල්ලක්. පොළොන්නරුවේ ග‍්‍රාමසේවා වසම් 32කට වෙන්කර තියෙන්නේ රු.17,000,000යි. එක ග‍්‍රාමසේවා වසමකට ලැබෙන්නේ සාමාන්‍යයෙන් රු.532,000ක් විතරයි. මේ ප‍්‍රදේශයේ ග‍්‍රාමසේවා වසමක පවුල් 500ක් විතර ජීවත් වෙනවා. නියඟයෙන් බැටකන ජනතාවට මාසෙකටම පවුලකට ලැබෙන්නේ රු.1000කට කිට්ටු ප‍්‍රමාණයක්. නියඟයෙන් බැටකන ජනතාවට මේක සහනයක්ද? හැබැයි ග‍්‍රාමසේවක මහත්වරුන්ට උපදෙස් දීල තියෙන්නේ එක එක සාධක පාවිච්චි කරලා දෙන සහනාධාරය අඩුම මට්ටමකට කපන්න කියලයි. එතැනින් නතර වෙන්නෙත් නැහැ. ආණ්ඩුව නම් කරන පොදු වැඩවලට යන්නත් ඕනෑ. මෙන්න මේ වගේ ප්‍රෝඩාවක් තමයි කි‍්‍රයාත්මක වෙන්නේ.

මීට අමතරව පානීය ජල ප‍්‍රශ්නය මුල්කරගෙන පළාත් සභා මැතිවරණය නිසා ජල ව්‍යාපෘතිවලට මුල්ගල් තියමින් යනවා. මීට ඉස්සර ජල ව්‍යාපෘති සම්පූර්ණ කරලා ඡුන්දය ඉල්ලන්න හැකියාව ආණ්ඩුවට තිබුණා. ඒක නොකර ඡුන්දය අස්සේ ජනතාව පත්ව සිටින පීඩාව පාවිච්චි කරලා ඡන්ද කොල්ල කන්න හදනවා කියන කාරණය අපට පැහැදිළි වෙනවා. ලංකාවේ දුප්පත්ම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස තිබෙන්නෙත් ඌව පළාතේ. මොණරාගල දිස්ති‍්‍රක්කයේ සියඹලාණ්ඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දුප්පත්ම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයි. ඊට පස්සේ රිදීමාලියද්ද. ඊට පස්සේ කන්දකැටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය. වතුකරයේ තත්ත්වය මීටත් වඩා බරපතළයි. දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටිලා. ළදරු මරණ සංඛ්‍යාව ඉහළයි. මව්වරුන්ගේ රත්කහීනතාවය ඇතුළේ ප‍්‍රශ්න ලංකාවේම ඉහළ යන අතර වතුකර තත්වය වඩාම බරපතළයි. මව්වරුන් මියයාම ඉහළ ගිහින් තියෙනවා. ආර්ථිකයට විශාල කොටසකින් දායක වන මේ ජනතාව අතරට සංවර්ධනය කියන නාමයක්වත් ගිහින් නැහැ. මේ ජනතාවගේ ඉතාම මූලික අයිතිවාසිකම්වත් ඉටුකරන්න මේ පාලකයෝ සමත්වී නැහැ.

මුදල් අමාත්‍යාංශයේ වාර්ෂිකව සකස් කරන වාර්තාවට අනුව ගත්තාමත් ලංකාවේ දුප්පතුන් වැඩියෙන්ම ඉන්නා පළාත ඌව පළාතයි. අවුරුදු 30කට කිට්ටු කාලයක් යුද්ධය පැවති උතුරු නැගෙනහිර පළාතටත් වඩා යුද්ධයක් නොතිබුණු ඌව පළාත දුප්පත්ම වී තිබෙනවා.

මේ තත්ත්වය තුළ ආණ්ඩුවට ඡන්දය ගන්න තියෙන ඉඩකඩ ඉතාම දුර්වලයි. ඒ නිසා සල්ලි විසිකරලා, ඡන්ද නීති කඩලා, බලහත්කාරය පාවිචි කරලා ඡන්ද ගන්න ආණ්ඩුව වඩ වඩාත් බලය පාවිච්චි කරමින් ඉන්නවා. වඩ වඩාත් අල්ලස් දීමේ පැත්තට ගමන් කරමින් ඉන්නවා. නමුත් ජනතාවගේ ප‍්‍රශ්න ඡන්ද කාලයට දෙන මේ අල්ලස්වලින් යටකරන්න බැහැ. විශේෂයෙන්ම ඌව පරණගම, වැලිමඩ ප‍්‍රදේශවල ගොවිජනතාවගේ ප‍්‍රශ්නවලට ආණ්ඩුවෙන් කිසිම උත්තරයක් නැහැ. දැවැන්ත වෙහෙසක් දරමින් තමන්ගේ කෘෂිකාර්මික කටයුතුවල යෙදී සිටිනවා. ජනතාව දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වෙමින් සිටියදී තමයි මේ පළාතම දුප්පත්කමේ ගැලී සිටින්නේ. මේ පළාතේ සම්පත් නැතිකමක් නෙවෙයි තියෙන්නේ. කෘෂිකර්මාන්තයෙන් දැවැන්තම දායකත්වයක් ඌව පළාතෙන් ලබා දෙනවා.

මොණරාගල අතීතයේ වෙල් ලක්‍ෂයක් තිබූණු ප‍්‍රදේශයක්. පැල්වත්ත, සෙවනගල, උක් වගාව සහ උක් ෆැක්ටරි දෙකක් තියෙනවා. අනෙක් පැත්තෙන් වැලිමඩ ප්‍රදේශයේ මල් වගාවත් තියෙනවා. ඌව පළාත ගත්තාම වී වගාව, එළවළු වගාව, පළතුරු වගාව, උක් වගාව, තේ වගාව වගේම මල් වගාවත් තියෙන පැතිරුණු වගා ප‍්‍රමාණයක් කිරීමට හැකි සම්පත් තිබුණූ ප‍්‍රදේශයක්. මේ බිම දුප්පතුන් වැඩියෙම ඉන්න බිමක් බවට පත්කරලා තියෙන්නේ කව්ද? රට පාලනය කරපු උදවිය මේ පළාතට කළ දේවල් මෙයින් පැහැදිළි වෙනවා.

ඒක නිසා මේ ඡන්දය ආණ්ඩුවට පහසු වෙන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ ඥාති පුත්තු මහඇමතිකම් කළාට ඒගොල්ලෝ භූමියේ ජනතාවගේ ප‍්‍රශ්න හඳුනන්නේ නැහැ. පොදුවේ ගත්තාමත් ආණ්ඩුව බිඳවැටෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ ආණ්ඩුව පටන් ගැනීමේ පළවෙනි සංඥාව දුන්නේ බස්නාහිර සහ දකුණු පළාත්වල ජනතාව. එතකං ඒ ගොල්ලන්ට තිබුණේ ඡන්ද කී‍්‍රඩාවක්. ඌවට එනකොට ආණ්ඩුවේ බිඳවැටීම වඩාත් වැඩිවෙමින් තිබෙනවා. ජනතා අප‍්‍රසාදය සහ ජනතා විරෝධය වැඩිවෙමින් තිබෙනවා. ඒ නිසා පුළුවන්තරම් බලහත්කාරය පාවිච්චි කරලා, සල්ලි වීසි කරලා ඡන්දය ගන්න උත්සාහ කරන බව පේනවා.

රටේම ජනතාවට බලපලා තියෙන පොදු ප‍්‍රශ්නය හැමදේකින්ම මේ ජනතාව බැට කනවා. ළඟදීම වැඩිවෙන තැපැල් ගාස්තුව වැඩිවෙන එක උදාහරණයක්. සන්ධානයේ හිටපු පක්‍ෂ කොන්දේසි දාන එකත් වෙනම මැතිවරණයට ඉදිරිපත්වෙන එකත් ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම් පිටට පැමිණීමක් ලෙසයි දකින්නේ. අද රාජපක්‍ෂවරු සහ ඒ වටේ ඉන්න කිහිප දෙනා ඇරුනාම සන්ධානයක් විදියට ඡන්ද ව්‍යාපාරයේ යෙදෙන බවක් දකින්න නැහැ. ඊට අමතරව බන්දුල යාලේගම මහත්තයා ආණ්ඩුවට බලය තියෙනකොට මොළය නැහැ කියලා කියලා තියෙනවා. ජනතාවගේ අප‍්‍රසාදයට අමතරව ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම් මේ විදියට එළියට ඇවිල්ලා තියෙන්නේ. ආණ්ඩුවේ බලය අහිමිවෙමින් යන බව පැහැදිළි වෙන නිසා තමන්ගේ බලය රැකගන්න විවිධ දේවල් කරමින් ඉන්නවා. රාජපක්‍ෂවරු රැකගෙන හිටපු අය දැන් තමන්ගැන බලන්න පටන්ගෙන තියෙනවා. මේ තත්ත්වය තුළ ඌව පළාත් සභා මැතිවරණයේදී අලූතින් ජයග‍්‍රහණ අත්පත්කරගන්න පුළුවන් එකම පක්‍ෂය ජනතා විමුක්ති පෙරමුණ බවට පත්වී තිබෙනවා.

රට අලූත් දිශාවකට ගෙනියන ජනතාව ජයග‍්‍රහණය කරන අලූතින් ජයග‍්‍රහණ අත්පත් කරගනිමින් ඉදිරියට යාමට සියලූ සැලසුම් අපි සකස්කර තියෙනවා. මැතිවරණ කොමසාරිස්තුමා ඉල්ලීම් කළත් නැතත් වගකීමෙන් දේශපානය කරමින් ජනතාව ජයග‍්‍රහණය කරවීමට අපි කටයුතු කරනවා.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු.

1. ආණ්ඩුවට වාසිසහගත වෙන්නේ සන්ධානයේ සියලූම පක්‍ෂ එකට එකතු වී කටයුතු කිරීමයි. එහෙම නැතිව කැඩි කැඩී යනකොට ආණ්ඩුවේ බිඳවැටීමක් ඇතිබව ජනතාවට පැහැදිළි වෙනවා. ආණ්ඩුවට එරෙහිව කුමන්ත‍්‍රණ තියෙනවා කියලා අපි හිතන්නේ නැහැ. මේ තමයි ආණ්ඩුවේ ඉරණම. ඉතිහාසය පුරාම හදපු මේ ජාතියේ හැම පෙරමුණක්ම අවසන් කාලයේ මේ ඉරණමට මුහුණ පාලා තියෙනවා. 1970 හදපු සමගි පෙරමුණෙන්, 1975දී සමසමාජ පක්‍ෂය අයින් වෙලා ගියා. 1976දී කොමියුනිස්ට් පක්‍ෂය අයින් වෙලා ගියා. ඊට පස්සේ එක්සත් ජාතික පක්‍ෂය අවුරුදු 17ක් රට පාලනය කරලා අවසන් කාලයේ පක්‍ෂය ඇතුළේ කුළල් කා ගැනීම් සහ මේ වගේ බිඳවැටීම් තිබුණු බව අපි දැක්කා. චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණියගේ අවසන් කාලයේ මේ වගේ බිඳවැටීම් තිබුණා.

2001 දෙසැම්බර් මැතිවරණයේ පරාජය වීමට ඒ අභ්‍යන්තර ගැටුම් බලපෑවා. අපේ රටේ ඉතිහාසය පුරාම සන්ධානවලින් දේශපාලනය කළ ආණ්ඩු බිඳවැටීමේ කාලය එනකොට ආණ්ඩුව ඇතුළේ ඉන්න කණ්ඩායම් තම තමන්ගේ පැවැත්ම හොයන්න පටන් ගන්නවා. මොකක් හරි සාධාරණ කාරණයක් හොයාගෙන ආණ්ඩුවෙන් එළියට අඩියක් තියාගන්නවාමයි. නැත්නම් අනාථ වෙලා යනවා. නැව පෙරළෙන එක වළක්වා ගන්න කට්ටියක් උත්සාහ කරන අස්සේ පෙරළුණෝතින් තමන්ට බේරෙන්න ටියුබ් එකක්වත් හොයාගන්න තමයි හැම දෙනාම උත්සාහ කරන්නේ. වෙන නැවක හරි එල්ලෙන්න බලාගෙන සමහරු දැන් දෙපැත්තේම කකුල් තියාගෙන ඉන්නවා. අද මේ ආණ්ඩුව පත්වී සිටින්නේ ඒ වගේ ඉරණමකට. ඌව ඡන්දය ආණ්ඩුවට තීරණාත්මකයි ඒ ප‍්‍රතිඵල අනුව තමයි ඉදිරි ඡන්ද තියෙන එක ගැන ආණ්ඩුව තීරණ ගන්නේ.

2. ආණ්ඩුවේ අනාගත අභියෝගය එක්සත් ජාතික පක්‍ෂය නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ බව දැකලා තියෙනවා. ඒ නිසා ඒ ගොල්ලෝ තීන්දුවක් අරන් තියෙනවා, මතවාදී පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණට පහර දෙන්න. මඩ ගහන්න. ඒ නිසා මේ ඡුන්ද ව්‍යාපාරය ඇතුළේ ඔය පේ‍්‍රමකීර්ති සමරුව තියලා ඊට සමගාමීව අපිට මඩ ගහන්න සැලසුම් කරලා තිබුණා. චන්දන කති‍්‍රආරච්චි මහත්තයාට ඔය ප‍්‍රදර්ශනය ආපහු කරන්න කියලා තියෙන්නේ ජනාධිපතිවරයාමයි. ඔය ප‍්‍රශ්නය තියෙන්නේ 1988-89 කාලයේ වෙච්ච දෙයක් ගැන. අපි පක්‍ෂයක් විදියට මේ ගැන කිහිප වතාවක්ම කියලා තියෙනවා. එක්සත් ජාතික පක්‍ෂය මහා ඝාතනයක් දියත් කර තිබුණු වටපිටාවක විවිධ අය තමන්ගේ අරමුණු වෙනුවෙන් වැඩ කළා.

ඒ මහා ඝාතනයක් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව දියත් කර තිබුණු වටපිටාවක අපේ පැත්තෙනුත් අඩුපාඩුකම් වෙලා තියෙනවා. අපි ඒ ගැන කණගාටුව ප‍්‍රකාශ කරලා පක්‍ෂයක් විදියට නිවැරදි කරගැනීම් කරගෙන තිබෙනවා. ඊට පස්සේ මේ ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණත් එක්ක හොඳට වැඩකරලත් තියෙනවා. පරිවාස ගිවිසුම අත්සන් කරන වෙලාවේ හරි මහින්ද රාජපක්‍ෂ මහත්තයත් එක්ක ගිවිසුම් අත්සන් කරන වෙලාවේ හරි ඔය ප‍්‍රශ්නයක් තිබුණේ නැහැ. තමන්ට අභියෝගයක් වුණාම අපිට විරුද්ධව මඩ ගහන්න විවිධ උපක‍්‍රම පාවිච්චි කරමින ඉන්නවා. අපි ආණ්ඩුවෙන් ප‍්‍රශ්න දෙකක් අහනවා.

එකක් තමයි ජනතා විමුක්ති පෙරමුණට මඩ ගහන්න ප‍්‍රදර්ශන තියන ආණ්ඩුවට එක්සත් ජාතික පක්‍ෂයේ මහා පරිමාණ ජනඝාතන පිළිබඳව ප‍්‍රදර්ශනයක් තියන්න බැරි ඇයි? පටන් ගන්න ඕනෑ එතැනින්. එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව තමයි 1983 අපේ පක්‍ෂය තහනම් කළේ. ඊට පස්සේ විවිධ ඝාතන කණ්ඩායම් හදලා වධ කඳවුරු පවත්වාගෙන ගියේ එක්සත් ජාතික පක්‍ෂය. මහින්ද රාජපක්‍ෂ මහත්තයා මානව හිමිකම් කොමිසමට ගියේ ඒ නිසා බව අමතක කරන්න එපා. ඒ තොරතුරුත් තාම එතුමා ළඟ ඇති කියලා හිතෙනවා. ඒවත් අරගෙන එක්සත් ජාතික පක්‍ෂය මානව හිමිකම් කඩකිරීම සම්බන්ධව ප‍්‍රදර්ශනයක් කරන්න පුළුවන්කම තියෙද්දී කරන්නේ නැත්තේ ඇයි කියල අහනවා.

දෙවන කාරණය තමයි ප්‍රේමකීර්තිද අල්විස් මහතාගේ බිරිඳ ඒ ඝාතනය ගැන පැහැදිළිව කරුණු හෙළිකරලා තියෙනවා. අපිවත් හමුවෙලා ඒ ගැන කියලා තියෙනවා. මේ ඝාතනයට එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ පුද්ගලයෙක් ඉන්න බව පැහැදිළිව කියලා තියෙනවා. දැනට ගුවන්විදුලි සංස්ථාවේ ලොකු පුටුවේ පුද්ගලයෙක් කියලත් කියලා තියෙනවා. ඇය ලියපු පොතකත් හේතු කාරණා සහිතව කරුණු තහවුරු කරලා ලියලා තියෙනවා. පේ‍්‍රමකීර්ති ගැන ආණ්ඩුවට ඔච්චර හැඟීමක් තියෙනවා නම් ගෙදර අය සාක්‍ෂිත් දෙනවා නම් පැමිණිලි කරලා ප‍්‍රසිද්ධියේ ඝාතකයන් ගැන කියනවා නම් ඒ කරුණු පදනම් කරගෙන පරික්‍ෂණයක් නොකරන්නේ ඇයි කියලා අපි අහනවා. ඒ කරුණු ඔක්කොම පැත්තකට දාලා ජනතා විමුක්ති පෙරමුණට මඩ ගහන්න මේ සිද්ධිය පාවිච්චි කරගෙන යනවා. ඒක කොයි වෙලාවේ හරි ආණ්ඩුවටම පාරා වලල්ලක් වේවි.

ජනතා විමුක්ති පෙරමුණ
2014.08.01