පුංචි දමිදුට මොකද වුණේ? - රහස් පොලීසියත් වැඩට බසියි

පුංචි දමිදුට මොකද වුණේ? - රහස් පොලීසියත් වැඩට බසියි

August 1, 2014   12:47 pm

මීගලෑව, කටුගම්පළගම ප්‍රදේශයේදී පැහැර ගැනීමට ලක් වූ දමිදු යසේන් ඒකනායක සිව්හැවිරිදි දරුවා සොයා පොලිස් කණ්ඩායම් 5ක් පරීක්ෂණ ආරම්භ කර තිබියදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද දරුවා සොයා පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ අනූව එම දරුවා පදිංචි ප්‍රදේශයට අද (01) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්ද පිටත්ව ගොස් ඇත.

පසුගිය 28 වැනිදා රාත්‍රී 7.30ට පමණ මෙම පැහැර ගැනීම සිදුවිය.

යතුරු පැදි දෙකකින් පැමිණි සිව්දෙනෙකු දරුවාගේ මවටත් පියාටත් පහරදී මෙම පැහැර ගැනීම සිදුකර තිබුණි.

ඔවුන් හෙල්මට් පැළඳ සිටි නිසා පැමිණියේ කවුරුන්දැයි නිශ්චිතව හඳුනා ගැනීමට දරුවාගේ මව්පියන්ට නොහැකි වී ඇත.

මෙම දරුවා පැහැරගෙන ගිය පුද්ගලයින් කිසිදු දුරකථන ඇමතුමක් හෝ නොදීම නිසා කප්පමක් ගැනීමේ අරමුණින් එය සිදුකළ ද යන සැකය ද මේවන විට සැකයක්ම බවට පත්ව තිබේ.

මේ අතර දරුවා ගැන යම් තොරතුරක් වෙතොත් ළඟම තිබෙන‍ පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානයද ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඒ අනූව දරුවා ගැන යම් තොරතුරක් ඇතොත් දුරකථන අංක 0718 -137007 වයඹ පළාතබාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන මහතාට හෝ 0774-784635 නිකවැරටිය‍‍‍ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අලහකෝන් මහතාට ලබාදිය හැකිය.