කප්පම්කරුවන්ට බැංකුවේදී වැඩ වැරදුණු හැටි

කප්පම්කරුවන්ට බැංකුවේදී වැඩ වැරදුණු හැටි

July 31, 2014   03:49 pm

ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ඔහුගේ ගිණුමෙන් මුදල් ලබාගැනීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ බැංකුවක කළමනාකාරවරයෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පසුගිය 29 වැනිදා කහවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මෙම සැකකරුවන් විසින් බලංගොඩ නගරයේ දී පැහැරගෙන ගොස් තිබුණි .

පසුව ඔහුගේ ගිණුමෙන් රුපියල් ලක්ෂ 12ක මුදලක් ලබාගැනීම සඳහා සැකකරුවන් විසින් මෙම ව්‍යාපාරිකයා කිරිබත්ගොඩ ප්‍රදේශයේ බැංකුවක් වෙත රැගෙනවිත් ඇති බව පොලීසිය පවසයි.

බැංකුවට පැමිණි එම පුද්ගලයින් තිදෙනා සැක කටයුතු ලෙස හැසිරීම හේතුවෙන් බැංකුවේ කළමනාකාරවරයා විසින් මේ පිළිබඳ පොලීසියට දැනුම් දී ඇත.

ඒ අනුව අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බියන්වල සහ දෙල්ගොඩ ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.