එම්බසියේ අය අපට කියන්නේ කනවා නම් කාපල්ලා නැත්නම් නිකං ඉඳපල්ලා කියලා

එම්බසියේ අය අපට කියන්නේ කනවා නම් කාපල්ලා නැත්නම් නිකං ඉඳපල්ලා කියලා

July 31, 2014   03:41 pm

ශී‍්‍ර ලාංකික කාන්තාවකගේ අවසරයකින් තොරව කරන ලද ගබ්සා කිරීමක් සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණයකට මැදිහත්වීම නිසා ඕමානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා යළි මෙරටට කැඳවා ඇතැයි එතෙර අපි සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

මෙවැනි කටයුතු නිසා ඊළඟට යන ඕනෑම තානාපති කෙනෙකුට ආණ්ඩුවේ හෙංචයියෙකු විදියට කි‍්‍රයාත්මක වීමට සිදුවන බවත්, බිලියන 06ක විදේශ විණිමයක් උපයා දෙන ශ‍්‍රී ලාංකිකයින්ගේ ගැටලූ පිළිබඳව ආණ්ඩුව මුණිවත රකින බවත්, හෙතෙම පෙන්වාදෙයි.

එතෙර අපි සංවිධානය විසින් බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සුනිල් හඳුන්නෙත්ති මහතා මේ ගැන වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වීය.



විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින්ගේ ගැටළු පිළිබඳව රජයේ අවධානය යොමු කරවීමටත් රජය මැදිහත් නොවන අවස්ථාවලදී ඊට එරෙහිව උද්ඝෝෂණ පෙරමුණක් ලෙස කි‍්‍රයාත්මක වීමටත් එතෙර අපි සංවිධානය කටයුතු කරනවා. අප සංවිධානය විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින්ගේ සහභාගිත්වයෙන් විවිධ රටවල කමිටු ගොඩනඟා තිබෙන අතර ඔවුන් සමඟ සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ඔවුන්ගේ ප‍්‍රශ්න සොයා බැලීමටත් ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමටත් අපේ සංවිධානය කටයුතු කරගෙන යනවා.

ශී‍්‍ර ලාංකිකයින් ලක්ෂ 18ක් පමණ මේ වනවිට විදෙස් සේවයේ නියැළෙමින් අපේ රටට විදේශ විනිමය සපයා දෙනවා. ආණ්ඩුව ඔවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් අසත්‍ය පවසමින් මුණිවත රකිමින් ඉන්නවා. ඊයේ දිනයේ මාධ්‍යවල පළවී තිබුණා, ආණ්ඩුව ඉදිරි වසර තුළ රු. කෝටි 130,000ක විදේශ විනිමයක් උපයා ගැනීමට බලාපොරොත්තු වෙනවා කියලා.

රු. බිලියන 6.3ක විදේශ විනිමය ආදායමක් 2013දී ලැබුණු බවද ඩිලාන් පෙරේරා ඇමතිවරයා පවසා තිබුණා. ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ විදෙස් ශ‍්‍රමිකයින්ගේ වාර්ෂික ආදායම රු.280,000ක් වන බවයි. මේ අනුව ගත්තාම විදේශ ශ‍්‍රමිකයෙකුගේ මාසික ආදායම රු.23,333යි. ඔවුන් ණය වෙලා, ඉඩකඩම් උගස් තියලා, තමන්ගේ ඥාති හිතමිත‍්‍රාදීන් අතහැරලා, විදෙස් රටකට ගොස් තිනවෙලා දහදුක් විඳලා උපයන මුදල මාසයකට රු.23,000ක් බව ඇමතිවරයා පිළිගන්නවා. ලංකාවේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ගණනයට අනුව හතර දෙනෙකුගෙන් යුත් පවුලක ජීවන වියදම මේ වනවිට 50,792ක් වෙනවා. එසේ නම් විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයෙකුගේ පවුලක් රු. 23,333කින් ජීවත් වෙන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් මේ වනවිට විදෙස්ගත ශ‍්‍රමිකයෙකුගේ ආදායම රු. 70,000ක් පමණ වෙනවානම් ආණ්ඩුවේ උවමනාව වී තිබෙන්නේ මෙම මුදල දෙකට බෙදලා ඒ වෙනුවට ශ‍්‍රමිකයින් දෙදෙනකු යැවීමයි. තානාපති කාර්යාල හරහා විදෙස් රටවල් සමඟ ආණ්ඩුව සාකච්ඡා කරමින් තිබෙන බව අපි අනාවරණය කරන්න කැමතියි. ආණ්ඩුව උත්සාහ කරන්නේ විදෙස්ගත ශ‍්‍රමිකයින්ගේ ජීවන මට්ටම උසස් කරනවා වෙනුවට රට පටවන ප‍්‍රමාණය වැඩිකර පෙන්වීමටයි.

කටාර්වල, කුවේට්වල, සෞදිවල, වෙනත් රටවල අයට අවම වැටුපක් සහතික කර තිබෙනවා. විශේෂයෙන් පිලිපීනය අවම වැටුප තහවුරු කර තිබෙනවා. එම අවම වැටුප ලැබෙන්නේ නැත්නම් ඔවුන් විදේශ සේවයට ශ‍්‍රමිකයින් යවන්නේ නැහැ. ඒ විදියට තමයි එම රටවල් තමන්ගේ ජනතාව ආරක්‍ෂා කරන්නේ. එනිසා අපි පැහැදිළිව කියනවා මෙම කප්පාදුවට එරෙහිව සංවිධානයක් ලෙස අපි ගත හැකි සියලූ කි‍්‍රයාමාර්ග ගන්නවා. ආණ්ඩුවට බලකරනවා දැනට ගෙවන සාමාන්‍ය අගය දෙකට බෙදලා ශ‍්‍රමිකයන් දෙදෙනෙකු යැවීමට ගන්නා උත්සාහය වහාම නතර කළ යුතුයි.

ඒවගේම විදෙස්ගතවන ශී‍්‍ර ලාංකිකයින්ට අවම වැටුපක් සහතික කළ යුතුයි. මේ සම්බන්ධයෙන් අපි ඉදිරි අයවැයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපෙරාත්තු වෙනවා. ඒ වගේම විදෙස් ගත ශ‍්‍රීලාංකිකයින්ට වැදගත් වන යෝජනා මාලාවක් අයවැයට පෙර අපි ආණ්ඩුව බාර දෙන්න කටයුතු කරනවා.

ඒ වගේම තමයි කොරියන් රැකියා ප‍්‍රශ්නය. මේ පිළිබඳව ආණ්ඩුවට, ඇමතිවරයාට, විදේශ සේවා නියුක්ති කාර්යාංශයට විවිධ විග‍්‍රහ තිබෙනවා. නමුත් ඔවුන් ශී‍්‍ර ලාංකිකයින්ට කොරියන් රැකියා අහිමි කිරීමේ කොටස්කරුවන් බවට පත්වෙලා තිබෙනවා. වාර්ෂිකව කොරියන් රැකියා විභාගයට 50,000ක ප‍්‍රමාණයක් වාඩි වෙනවා. 2011 වර්ෂයේදී මේ සම්බන්ධයෙන් අර්බුදයක් පැන නැඟුණා. විභාගය සමත් වුණු 2541 ක ප‍්‍රමාණයකට කොරියන් රැකියා අවස්ථා අහිමි වුණා. එක් අයෙකු විභාගයට රුපියල් 40,000ක් පමණ වියදම් කරනවා. කොරියන් රැකියා ඉල්ලූම්පත‍්‍රයක් සඳහා රු.3500ක් ගෙවිය යුතුයි. වෛද්‍ය පරීක්‍ෂණයට රු.8000ක් ශාරීරික පුහුණුවීම් සඳහා රු.21,000ක්, උපකරණ සඳහා රු.20,000ක් ආදී වශයෙන් රු.150,000කට අධික මුදලක් එක් ඉල්ලූම්කරුවෙකු වියදම් කරනවා. ඒ විතරක් නෙවෙයි දින 14 පුහුණුවට සහභාගි වෙන්න සහ වෙනත් කටයුතු වෙනුවෙන් ඔවුන් දැනට කරමින් ඉන්න රැකියාවෙනුත් ඉවත් වෙනවා. මෙතරම් කැපවීමක් කරමින් කොරියන් රැකියා බලාපොරොත්තුවෙන් සිටි 2541 දෙනෙකුට 2011දී අවස්ථාව අහිමි වුණා. ආණ්ඩුව වරද පැටෙව්වේ කොරියානු රජයටයි. නමුත් ආණ්ඩුව කළේ තමන්ගේ දේශපාලන ලැයිස්තුවලින් හිතවතුන්ට කොරියන් රැකියා ලබාදීමයි. ඒ නිසා තමයි 2012, 2013 කණ්ඩායම්වලටවත් පෙරකී 2541ක පිරිස ඇතුළු වුණේ නැත්තේ. ඔවුන් 2014.06.18 වන දින උපවාසයක් පවා ආරම්භ කළා. මෙය ඉතා සාහසික දෙයක්. ආණ්ඩුව ඔවුන්ගේ සියලූ බලාපොරොත්තු බිඳ වට්ටවා තිබෙනවා. මෙය අවසානය නොවේ. තවත් එවැනිම පිරිසකට මෙම ඉරණම අත්විය හැකියි. විශේෂයෙන් කිවයුතු දෙයක් තිබෙනවා. කොරියන් රැකියා අහිමිවුණු 2541 දෙනා අතර බදුල්ලේ එක් අයෙක්වත් නැහැ. හම්බන්තොට අය ඉන්නේ තිදෙනෙක් පමණයි. ඒ නිසා පැහැදිළිවම මෙය දේශපාලන වුවමනාවක් මත සිදුවූ දෙයක් බව පැහැදිළියි.

අනෙක් කාරණය තමයි වසර හතරක් කොරියාවේ සේවය කර මෙරටට පැමිණි පුද්ගලයින් නැවත කොරියාවට යාමේදී කොරියන් භාෂා විභාගයට පෙනී සිට සමත් විය යුතුයි කියන කාරණය. නමුත් ඔවුන්ගේ පලපුරුද්ද, හැකියාව අනුව කොරියන් රැකියාවකට යාමට අවස්ථාව හිමිවිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ආණ්ඩුව කොරියන් රජය සමඟ සාකච්ඡා කොට මේ සම්බන්ධයෙන් ප‍්‍රමුඛතාවයක් දිය යුතු බව අපගේ හැඟීමයි.

මේ වනවිට පලස්තීන, ඊශ‍්‍රායල් ගැටුම වර්ධනය වෙමින් තිබෙනවා. දෙරටේම වාසය කරන ශී‍්‍ර ලාංකිකයින් භීතියට පත්වෙලා තිබෙනවා. ශී‍්‍ර ලංකා ආණ්ඩුව ඔවුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ගත් පියවරක් මේ වනතුරු අපි දන්නේ නැහැ. විදේශ රැකියා ඇමති, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, තානාපති සේවා මේ සම්බන්ධයෙන් කරන මැදිහිහත්වීමක් නැහැ. සිදුවීමක් වාර්තා වුණාම ගණන් හිලව් කියනවාට වඩා, කනගාටුව පළ කරනවාට වඩා දෙරටෙහි වෙසෙන ශී‍්‍ර ලාංකිකයින්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කර කඩිනමින් ගතයුතු පියවර ගැනීමයි කළ යුත්තේ.

ඒ වගේම යුරෝපා රටවල ජීවත්වන ශී‍්‍ර ලාංකිකයින්ගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ගැටළුවක් මතුවෙලා තිබෙනවා. ආණ්ඩුව 2009 යුද්ධය අවසන් වීමට පෙර ආරක්‍ෂාව සම්බන්ධයෙන් කියලා ද්විත්ව පුරවැසිභාවය ලබාදීම සිදුකළේ නැහැ. නමුත් දැන් යුද්ධය අවසන් වී වසර 6කට ආසන්න කාලයක් ගතවී තිබුණත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුවෙලා නැහැ. යුරෝපා රටවල වසර ගණනාවක් රැකියා කරමින් ජීවත් වන විශාල ශී‍්‍ර ලාංකිකයින් පිරිසක් තමන්ගේ දරුවන්ට ද්විත්ව පුරවැසිභාවය බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔවුන්ට එම අවස්ථාව ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. නමුත් දේශපාලනඥයින් විශාල පිරිසකට මෙම ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන තිබෙනවා. එනිසා අපි ආණ්ඩුවට බලකරනවා, ආරක්‍ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලූ සොයා බලා එම ශී‍්‍ර ලාංකිකයින්ගේ ගැටලූව විසඳන්න මැදිහත් වෙන්න කියලා.

ඒ වගේම විදෙස් රටක සේවය කරන ශී‍්‍ර ලාංකිකයෙකුට වසර 5කින් පසු නැවත ලංකාවට පැමිණෙන විට ඔහු පාවිච්චි කළ වාහනය බදු ගෙවීමකින් තොරව ලංකාවට ගෙනඒමේ හැකියාව තිබුණා. නමුත් මේ ආණ්ඩුව එම පහසුකම අහිමි කරලා තිබෙනවා. ආණ්ඩුව රටවිරුවෝ කියමින් බිලියන 6ක විදේශ විනිමයක් ගේන පිරිස ගැන කිඹුල් කඳුළු හෙළුවට රුපියලක්වත් වියදම් නොකර ඔවුන්ට ලබාදිය හැකි පහසුකම් පිළිබඳව අවධානය යොමුකරන්නේ නැහැ. මේ ආණ්ඩුවලට නාස්ති කරන්නත් මුදල් හොයලා දෙන්නෙත් මේ රට විරුවෝ කියන පිරිසමයි.

ඒ වගේම ඕමාන් තානාපතිතුමා ලංකාවට කැඳෙව්වා. ඊට හේතුවී තිබුණේ ශී‍්‍ර ලාංකික කාන්තාවකගේ අවසරයකින් තොරව කරන ලද ගබ්සා කිරීමක් සම්බන්ධයෙන් පරීක්‍ෂණයකට මැදිහත් වීමයි. එම තානාපතිවරයා සාධාරණ කටයුත්තකට මැදිහත් වීම නිසා නැවත ලංකාවට ගෙන්වනවා නම් මොකක්ද ඇතිවන තත්ත්වය? මෙවැනි කටයුතු සිදුවන විට ඊළඟ යන ඕනෑම තානාපති කෙනෙකු ආණ්ඩුවේ හෙංචයියෙකු විදියට කි‍්‍රයාත්මක නොවනවා කියලා අපිට විශ්වාසයක් තිබෙනවාද? එවිට එය ශී‍්‍ර ලාංකිකයින්ට සෘජුවම බලපානවා නේද? විදෙස් රටවල ජීවත්වන ශී‍්‍ර ලාංකිකයින්ට තිබෙන එකම පිළිසරණ තානාපති කාර්යාලය පමණයි. තානාපතිවරයා ස්වාධීන, කොන්දක් තිබෙන අයෙකු නොවෙනවා නම් ඇතිවන තත්ත්වය කුමක්ද?

කොරියාවේ සේවය කරන ශී‍්‍ර ලාංකිකයින්ගේ පාරිතෝෂිතය සම්බන්ධයෙන්ද අර්බුදයක් පැනනැගී තිබෙනවා. ඔවුන්ට ලැබෙන කුක්මින් නම් පාරිතෝෂික මුදල ලංකාවට එන විට ලබාගැනීමේ හැකියාවක් ඔවුන්ට තිබෙනවා. නමුත් පසුගියදා සමාජ ආරක්ෂණ අරමුදලේ සභාපතිනිය ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටිමින් කියා සිටියේ කොරියන් සේවයේ නියුතු ශී‍්‍ර ලාංකිකයින්ට ලැබෙන එම ප‍්‍රතිලාභය යොදාගනිමින් එම සේවකයින්ට වසර 60ක් පිරුණු පසු ලබාගැනීමට හැකිවන ලෙස විශ‍්‍රාම අරමුදලක් ගොඩනඟන බවයි. ඒ සම්බන්ධයෙන් අනුර දිසානායක පාර්ලිමේන්තුවේ ප‍්‍රශ්න කළ අතර ඩිලාන් පෙරේරා ඇමතිවරයා ලබා දුන්නේ බාල පිළිතුරක්. ඔහු සමාජ ආරක්‍ෂණ මණ්ඩලයේ සභාපතිනියට දෝෂාරෝපණය කළත් විෂය භාර ඇමතිවරයා ලෙස කොරියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින්ට ඒ පිළිබඳව සහතිකයක් ලබාදුන්නේ නැහැ. ඒ වගේම සභාපතිනිය විසින් මේ වනතෙක් ඇය කළ ප‍්‍රකාශය ඉල්ලා අස්කරගෙන හෝ වැරදි බව පිළිඅරගෙන නැහැ. ඒ නිසා ගැටලූව විසඳිලා නැහැ.

ඒ වගේම මේ වනවිට ඌව මැතිවරණ කටයුතුවලට විදේශ සේවා නියුක්ත කාර්යාශංයේ නිලධාරීන් යොදවාගෙන තිබෙනවා. ඩිලාන් පෙරේරා ඇමතිවරයා සෘජුවම අමාත්‍යාංශයේ දේපළ යොදාගනිමින් කටයුතු කරමින් තිබෙනවා. ඒ වගේම විදේශ රැකියා සම්බන්ධයෙන් ඉල්ලූම්පත‍්‍ර බෙදීමේ කටයුතුවලද, විදෙස් රැකියා ලබාදෙන බවට පවසමින් සම්මුඛ පරීක්ෂණද පවත්වන්න පුළුවන්කම තිබෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි කරුණු සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසයි.

සෞදි අරාබියේ ජෙඩා ප‍්‍රදේශයේ අත්අඩංගුවේ පසුවන පිරිසක් වෙනුවෙන් අත්අඩංගුවේ සිටින සුරේෂ් මහතා දුරකථනය ඔස්සේ මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ විය. ඔහු විසින් පළකළ අදහස් පහතින් දැක්වේ.

“අපි මාස 3කට අධික කාලයක් අත්අඩංගුවේ ඉන්නවා. එම්බසියෙන් හරි ලංකාවේ ඇමතිකෙනෙක් හරි කතා කළොත් පැය 48ක් ඇතුළත අපිට නිදහස් වෙලා එන්න පුළුවන්. නමුත් එහෙම කතාකරන්න කෙනෙක් නැහැ. ලංකාවෙන් එවපු ඒජන්සිවලත් ප‍්‍රශ්නයක් තිබෙනවා. අපිට පොරොන්දු වුණේ රියාල් 1200ක්. නමුත් අපිට ලැබුණේ රියාල් 600ක් විතරයි. ලංකාවේදී ගහන ගිවිසුම මෙහාට අදාළ නැහැ කියලා අපිට මෙහේ අය කියනවා. නිශාන්ත කියලා කෙනෙක් එම්බසි එකේ සේවය කරනවා. එයාට අරාබි වචනයක්වත් බැහැ. නිෂාම් කියලා කෙනෙක් ඉන්නවා. එයා වැඩ කරන්නේ සල්ලිවලට විතරයි. රියාල් 500, 600 මුදල් අයකරලා තමයි එයා වැඩ කරන්නේ. අපිට හොඳටම විශ්වාසයි මේ අය ඇමති කට්ටියට පෝස්ටර් ගහපු අය කියලා. අපිට නිදහස දෙන්න කියලා උපවාසයකුත් කළා. කෑම නොකා හිටියා. නමුත් එම්බසියේ අය අපිට කියන්නේ කනවා නම් කාපල්ලා නැත්නම් නිකං ඉඳපල්ලා කියලා. පකිස්තානයේ, ඉන්දියාවේ එම්බසි පැය 24ම වැඩ. නමුත් අපේ එම්බසි එකේ අය දහය හමාරට විතර ඇවිත් ඕනෑනම් ඕ.ටී. එකකුත් කරලා යනවා. අපිට කන්නවත් හරියට නැහැ.

එම සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිළි කරන එතෙර අපි සංවිධානයේ භාණ්ඩාගාරික නීතිඥ ජානක අධිකාරි සහෝදරයා... සෞදි අරාබියේ ජෙඩා ප‍්‍රදේශයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ලංකාවේ පිරිමි 37ක් සහ කාන්තාවන් 13 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඔවුන් තමන් කරන රැකියාවේ අසීරුතාවයන් නිසා පළා ආ පිරිසක්. ඔවුන් ශී‍්‍ර ලංකාවෙන් යවා තිබෙන්නේ නිශ්චිත කාර්යයකට වුවත් සෞදි අරාබිය තුළදී ඔවුන්ට ලබාදී තිබෙන්නේ වෙනත් රැකියාවන්. උදාහරණයක් විදියට ගත්තොත් රියදුරු රැකියාවට ගියපු ඇතැම් පුද්ගලයින්ට පැවරී තිබෙන්නේ කුකුළන් කොටු නැත්නම් එළුවන් කොටුවල වැඩ කිරීමටයි. පොරොන්දු වුණු වැටුප ලැබී නැහැ. එනිසා ඔවුන් මේ වනවිට විශාල අර්බුදයකට මුහුණ දී තිබෙනවා. ඔවුන් වෙනුවෙන් මැදිහත් විය යුතු තානාපති කාර්යාලවල සේවක මණ්ඩලවන කාර්යභාරය පිළිබඳව ගැටලූවක් තිබෙනවා. එම ගැටලූවලදී මැදිහත් වනවිට අරාබි භාෂාව ඉතාම වැදගත්. නමුත් තානාපති කාර්යාලයේ නිලධාරීන්ට අරාබි භාෂාව පිළිබඳව දැනුමක් නැහැ. බොහෝ අය දේශපාලන හිතවතුන්. ඔවුන්ගේ මැදිහත්වීම පිළිබඳව ගැටළුවක් තිබෙනවා. ඒ වගේම සෞදි අරාබියට යන සේවකයින් එළඹෙන ගිවිසුම් සම්බන්ධයෙන් නියාමනය කිරීමට ක‍්‍රමවේදයක් ගෙඩනැගිලා නැහැ. ඒ සම්බන්ධයෙන්ද තානාපති කාර්යාලවලට විශාල චෝදනාවක් එල්ල වී තිබෙනවා මේ වනවිට. අපි ඉදිරියේදී මීට වඩා කරුණු මාධ්‍ය වෙත හෙළිදරව් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.



2014. 07. 31