ණය ගෙවන්න ප්‍රමාණවත් ආදායමක් නෑ - ආණ්ඩුවේ ගමන අවදානම් - පාඨලි හෙළිකරයි

ණය ගෙවන්න ප්‍රමාණවත් ආදායමක් නෑ - ආණ්ඩුවේ ගමන අවදානම් - පාඨලි හෙළිකරයි

July 30, 2014   03:04 pm

ආණ්ඩුවේ වාර්ෂික ණය ගෙවීමේ හැකියාව ඉතාම භයානක තත්ත්වයකට ඇද වැටී ඇති බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අපනයන ආදායම හා ආණ්ඩුවේ ආදායම් වැඩි කර නොගතහොත් දේශීය හා විදේශීය ණය ගෙවීමට මෙරට දේපළ විකිණීමට සිදුවිය හැකි බව අමාත්‍යවරයා කියයි.

ශ්‍රී ලංකාව ණය බර අඩු කරගනිමින් ආකර්ෂණීය වර්ධනයක් ලබාගනිමින් ඇති බවට ප්‍රකාශ වුව ද ආණඩුවේ මුළු ආදායම වාර්ෂික ණය ගෙවීමට ප්‍රමාණවත් නොවන බව සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දී ඇති බව අමාත්‍යවරයා පවසයි.

පස්අවුරුදු තාක්ෂණ ආයෝජන සැලැස්ම පිළිබඳ වාණිජ ප්‍රජාවගේ අදහස් ලබාගැනීම වෙනුවෙන් අද (30) කොළඹ පැවති සංවාදයකදී තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මීට පෙර ණය ගෙවීම පිළිබඳ අර්බුදයකට මුහුණ පෑ යුක්රේනය, ඉතාලිය වැනි රටවල් එම ණයට හිලව් ලෙස සිය සාරවත් ඉඩම්, වරාය, දුම්රිය, විදුලිබලාගාර ආදියේ අයිතිය විදේශිකයන්ට ලබාදීමට සිදුවූ බව අමාත්‍යවරයා එහිදී පෙන්වාදුන්නේය.

මේ හේතුවෙන් ණය ගෙවීම් පාලනය කර රටේ ආදායම හා අපනයන ආදායම වැඩි කරගැනීමට පියවර නොගතහොත් ශ්‍රී ලංකාවට ද එම ඉරණම අත්වනු ඇති බව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.