ගැටලුවලට විසඳුම විධායක ජනපති ක්‍රමය නැති කිරීමයි

ගැටලුවලට විසඳුම විධායක ජනපති ක්‍රමය නැති කිරීමයි

July 29, 2014   09:25 pm

මෙරට ජනතාවගෙන් සියයට 74ක් ගොවීන් බවත්, ඉන් සියයට 54ක් වී ගොවීන් බවත් සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ නායක පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති.

රටේ නායකයා තෝරා පත් කර ගැනීමේ මැතිවරණයකදී ඒ අනූව වැදගත් වන්නේ ගොවි ජනතාවගේ ඡන්දය යැයිද උන්වහන්සේ පෙන්වාදෙයි.

කෙසේ වුවද අද වන විට ගොවි ජනතාවට, ඔවුන්ගේ දරුවන්ට සිදුව ඇත්තේ දැඩි දුෂ්කර දිවිපෙවෙතක් ගත කිරීමට යැයි සෝභිත හිමියන් පෙන්වාදෙයි.

විශේෂයෙන් ගොවීන්ගේ නිෂ්පාදන සඳහා ස්ථීර මිලක් නොමැතිවීමත්, වී ගොවීන්ට වගා කටයුතු සඳහා ජලය නොමැතිවීමත් ඊට හේතුව යැයි උන්වහන්සේ සඳහන් කරයි.

මේ නිසා ගොවීන්ට වහ කන්නවත් අතේ මිටේ මුදල් නැතැයිද පෙන්වාදෙන උන්වහන්සේ ගොවි ජනතාවගේ දරුවන්ට අඩුම තරමින් කිරිපිටි ටිකක්වත් දීමට නොහැකිව එම ජනතාව දැඩි අසරණතාවයකට පත්ව සිටින බව සෝභිත හිමියන් කියයි.

මේ දිනවල දිවයිනේ ප්‍රදේශ රැසකටම බලපා ඇති නියඟය හමුවේ ගොවීන් දැඩි ලෙස අසරණව සිටින බවත් අනවශ්‍ය ව්‍යාපෘති සඳහා වැය කළ මුදල්වලින් එම ජනතාවගේ ජල පහසුකම් නැංවීමට හැකියාව තිබූ බවද පෙන්වාදෙයි.

රටටම පිළිලයක් වී ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මෙම සියලු ගැටලුවලට විසඳුම යැයිද ඒ සඳහා කැපවිය යුතු යැයිද කොළඹදී අද (29) පස්වරුවේ සාධාරණ සාමාජයක් උදෙසා ව්‍යාපාරය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සෝභිත හිමියන් කියා සිටියේය.