උසස් පෙළ විභාග සත්කාරක වැඩසටහන් සියල්ල තහනම්

උසස් පෙළ විභාග සත්කාරක වැඩසටහන් සියල්ල තහනම්

July 29, 2014   04:09 pm

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව හෙට (2014.07.30) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන (2014.08.29) දිනය දක්වා විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පංති සංවිධානය කිරීම ඇතුළු අනෙකුත් විභාග සත්කාරක වැඩසටහන් තහනම් කර තිබේ.

ඒ යටතේ උපකාරක පංති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදිය පැවැත්වීම, විභාග සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දේ ළඟ තබාගැනීම තහනම් බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අදාළ නියෝගය නොසලකා හැර ක්‍රියාකරනු ලබන ආයතන හා පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එම දෙපාර්තමේන්තුව පවසයි.