සියලු ධීවරයින් නිදහස් නොකළොත් යාත්‍රා පෙළකින් ලංකාවට එනවාලු

සියලු ධීවරයින් නිදහස් නොකළොත් යාත්‍රා පෙළකින් ලංකාවට එනවාලු

July 29, 2014   03:21 pm

ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රජයට බලකරන ලෙස ඉල්ලා ඉන්දීය මධ්‍යම රජය දැඩි ක්‍රියාමාර්ගයක නිරත විය යුතු බව ඉන්දීය ධීවර සංගම් නායකයින් පවසයි.

මේ සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජයේ අවධානය යොමුකිරීම සඳහා නවදිල්ලි නුවරට ධීවර නායකයින් ඇතුළු තමිල්නාඩු අමාත්‍යවරුන් පිරිසක් යොමුකළ යුතු බව ඔවුන් කියයි.

ඒ සඳහා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් කටයුතු කළ යුතු බව ද ඉන්දීය ධීවර සංගම් පෙන්වාදෙයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම පිළිබඳ විරුද්ධත්වය පළ කිරීම සඳහා රාමේෂ්වරම් සහ මණ්ඩපම් ප්‍රදේශවල ධීවරයින් දින 4ක කාලයක් රැකියාවේ නිරත වී නොමැති බව වාර්තා වේ.

මේ හේතුවෙන් දිනකට විශාල මූල්‍යමය පාඩුවක් සිදුව ඇති බවත් 20,000ක පමණ පිරිසකට තම ජීවිකාව අහිමි වී ඇති බවත් ඔවුන් දැඩි ණය බරින් පීඩා විඳින බවත් ඉන්දීය ධීවර සංගම් පෙන්වාදී ඇත.

තවද ශ්‍රී ලංකා නාවික හමුදා බාරයේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කිරීම සඳහා අගෝස්තු පළමුවනදා වන විට පියවර නොගතහොත් ඊට පසුදින විරෝධතා යාත්‍රා පෙළකින් ශ්‍රී ලංකාව බලා පැමිණෙන බව තමිල්නාඩු ධීවරයින් පවසයි.