පංචායුදයත් ඌවට තනියම එයි - දැන් ඔබාමාව ෂේප් කරගන්න හදනවා - විමල්

පංචායුදයත් ඌවට තනියම එයි - දැන් ඔබාමාව ෂේප් කරගන්න හදනවා - විමල්

July 29, 2014   11:55 am

ඌව පළාත් සභා මැතිවරණය සඳහා තනි පක්ෂයක් ලෙස තරඟ කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ තීරණය කර තිබේ.

ඒ අනූව බදුල්ල හා මොණරාගල දිස්ත්‍රීක්ක සඳහා ජාතික නිදහස් පෙරමුණ මෙවර තනි පක්ෂයක් ලෙස තරඟ කිරීමට බලාපොරොත්තු වන බව එම පක්ෂයේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (29) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවංක පාර්ශවකරුවෙක් ලෙස දකින වැරදි නිවැරදි කරමින් කටයුතු කිරීම තම පක්ෂයේ ප්‍රතිපත්තිය වුවද එම ප්‍රයත්නය අවබෝධ කර ගැනීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ට වුවමනාවක් නැති බව පෙනී යන්නේ යැයිද හෙතෙම එහිදී පැවසුවේය.

පක්ෂයක් ලෙස ආණ්ඩුව සමග සිටිමින් පෙනී සිටියේ ජනතාව වෙනුවෙන් බව ඔහු සඳහන් කළේය.

සන්ධාන ආණ්ඩුව බිඳ වැට්ටවීමට අපිට අවශ්‍යතාවයක් නැති බවත්, මෙම තීරණය ගනු‍ ලැබුවේ සද්භාවයෙන් බවත්, අමාත්‍යවරයා කියා සිටියේය.

තම පක්ෂය විසින් ආණ්ඩුවට ඉදිරිපත් කළ යෝජනා 12කින් සමන්විත ක්‍රියාකාරී සැලැස්ම නිහඬබවේ ගිල්වා මරා දැමීමට ඔවුන් කටයුතු කරමින් සිටින බවද හෙතෙම පැවසු‍වේය.

තවද සන්ධානයේ පක්ෂ අතර ගන්නා තීන්දු තීරණ සාකච්ඡාවට ගත යුතු අතරම සියලු පක්ෂවල ගරුත්වය රැකෙන පරිදි කටයුතු කළ යුතු නමුත්, එවැන්නක් ආණ්ඩුව තුළින් පෙනෙන්නට නැති බවත්, ඔහු පෙන්වාදුන්නේය.

ඊට ආසන්නතම සිදුවීම මෙරට තුළ යුද අපරාධ සිදුවූයේ නැහැයි කියන ස්ථාවරයේ සිටි ආණ්ඩුව එකවරම යුද අපරාධ සම්බන්ධව සෙවීමට ලාංකිකයෙකු ද ඇතුළුව විදේශකයින් තිදෙනෙකු පත් කිරීම යැයි ‍අමාත්‍යවරයා පැවසුවේය.

එය වූ කලී ජිනීවාවලින් අපට දාන්න හදන තොණ්ඩුව අපි විසින්ම දාගැනීමක් බැව් හෙතෙම පෙන්වාදුන්නේය.

සන්ධානයේ හවුල්කාර අනෙක් පක්ෂ කෙසේ වෙතත් ආණ්ඩුවට සංවේදීම පක්ෂ දෙකක් වන තම පක්ෂය හා හෙළ උරුමය පවා ‍මීට අදාළ ගැසට් නිවේදනය පසුදා එනතුරු කිසිත් නොදන්නා බව අමාත්‍යවරයා කියා සිටියේය.

අදාළ කොමිසමට පත්කළ විශේඥයින් වූ කලී වෙනත් රටවල යුද අපරාධ ගැන හොයා දඬුවම් දුන් අය බවත් මේ ගැන ආණ්ඩුවට සංවේදී දේශපාලන පක්ෂ සමගවත් සාකච්ඡා කරන්නේ නැතිව සන්ධානයක් ලෙස එකට වැඩකරන්නේ කෙසේදැයි යන ගැටලුව මතු වන බවත් හෙතෙම පැවසුවේය.

යුද අපරාධ වුණේ නෑ කියන ස්ථාවරයේ සිටිමින් ගත් එකී තීරණය මුල් තීරණය හා පරස්පර බවද හෙතෙම කියා සිටියේ මේ ආකාරයෙනි.

“මේක කාගේ හරි ලණුවක්. අපේ විශ්වාසය. එක එක විදේශිකයින් ගෙන්වාගෙන ඔබාම‍ාව ෂේප් කරගන්න පුළුවන් ද කියලා එක එක නාටක යනවා. මේක ඒ නාටකවල එකක්. මෙහෙම ඒවායෙන් ඔබාමා ෂේප් වෙන්නේ නෑ. මේකෙන් වෙන්නේ ඔබාමාගේ පැත්තට යන චෝදනාව අපේ පැත්තටම ඇවිල්ලා අපිම බෙල්ලට වැලදමා ගැනීම. මේකට සමාන්‍ය ව්‍යවහාරයේ කියන්නේ සියදිවි නසා ගැනීමක්. ඒ කියන්නේ තොණ්ඩුව අපිම දමා ගැනීමක් අපේ බෙල්ලට” යනුවෙනි.



ඌව පළාත් සභාව නියෝජනය කළ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඉකුත් මැයි මස 22දා පැවැති ඌව පළාත් සභා රැස්වීමේදී ජා.නි.පෙන් ඉවත් වී එක්සත් ජනතා නිදහස් සන්ධානයට හා එක්සත් ජාතික පක්ෂයට එක්විය.

මෙහිදී ඌව පළාත් සභාවේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී කපිතාන් මිහිමල් මුණසිංහ මහතා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී එක්සත් ජාතික පක්ෂය සමග විපක්ෂයේ අසුන් ගත්තේය.

එසේම ඩබ්ලිව්.ඒ උදය කුමාර මහතා ද ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.

මෙහිදී ඩබ්ලිව් ඒ. උදය කුමාර මහතාට මෙවර ඌව පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කිරීමට අවස්ථාව ලබාදුනහොත් ජාතික නිදහස් පෙරමුණ දේශපාලන තීන්දුවක් ගන්නා බව එම පක්ෂය විසින් ඉකුත් දිනවල මාධ්‍ය වෙත කරුණු අනාවරණය කර තිබුණි.

ඒ අනූව ජාතික නිදහස් පෙරමුණ තනි පක්ෂයක් ලෙස ඌවේ මැතිවරණයට තරඟ කරන බව පක්ෂ නායක විමල් වීරවංශ මහතා අද නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ මෙවන් පසුබිමකය.

2010 පළාත් සභා මැතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කළ මුණසිංහ මහතා මනාප ලැයිස්තුවේ 6 වැන්නා ලෙසත්,මොණරාගල දිස්ත්‍රීක්කයෙන් ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් සන්ධානයෙන් තරඟ කළ උදය කුමාර මහතා එහි තෙවන ස්ථානයට මනාප ලබා තේරීපත්වී සිටියහ.

ඌව පළාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා බාර ගැනීම ද හෙට ආරම්භ වේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයද ඌව මැතිවරණයට තනි පක්ෂයක් ලෙස තරඟ කරන බව පසුගියදා අනාවරණය කළේය.