රාජ්‍ය නිලධාරීන් උඩරට දුම්රිය මඟේ නිරීක්ෂණ සවාරියේ

රාජ්‍ය නිලධාරීන් උඩරට දුම්රිය මඟේ නිරීක්ෂණ සවාරියේ

July 29, 2014   10:23 am

බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සහ ඔහිය දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක් ආරම්භ කර තිබේ.

බදුල්ල දුම්රිය ස්ථානයේ සිට ඔහිය 18 වැනි බිංගෙය දක්වා මෙම නිරීක්ෂණ චාරිකාව සංවිධානය කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය 18 වැනි බිංගෙය සහ බදුල්ල දුම්රිය ස්ථානය අතර ප්‍රදේශයේ පසුගිය දිනවල ස්වභාවික ආපදාවන්වලට බහුල වශයෙන් ලක්වුණි.

විශේෂයෙන් වැසි සමයේ නායයෑම් සිදුවීම හේතුවෙන් ගස් ගල් කඩා වැටී දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා පැමිණෙන ලදී.

මේ හේතුවෙන් ආපදා තත්ත්වයන් ඇති වන ස්ථාන නිරීක්ෂණය කිරීම, ඒවා සිතියම් ගත කිරීම, විසඳුම් ගැනීම යන අරමුණු මූලික කරගනිමින් බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නිරීක්ෂණ චාරිකාව ආරම්භ කර තිබේ.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව මෙම නිරීක්ෂණ චාරිකාව සංවිධානය කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.