ඌවට නාමයෝජනා ගැනීම හෙට ඇරඹෙයි

ඌවට නාමයෝජනා ගැනීම හෙට ඇරඹෙයි

July 29, 2014   08:06 am

ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා බාරගැනීම හෙට(30) සිට ආරම්භ වීමට නියමිතව තිබේ.

හෙට දිනයේ සිට අගෝස්තු මස 6 වන දින දහවල් 12 දක්වා නාමයෝජනා බාරගැනීම සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

මේ වන විට සියලු දේශපාලන පක්ෂ තම නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේ කටයුතු සිදුකරමින් සිටියි.

ඌව පළාත් සභාව සඳහා තරඟවදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයින්ගේ සම්මුඛ පරීක්ෂණ ඊයේ දිනයේ ආරම්භ කෙරුණි.

රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි, අනුර ප්‍රියදර්ශන යාපා සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ඇතුළු පිරිසක් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වනු ලැබුණි.

මේ අතර ඌව පළාත් සභාවේ නාමයෝජනා ලැයිස්තු සකස් කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ඉදිරි දින කිහිපය තුළ එම කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බව එම පක්ෂය සඳහන් කළේය.

ඌව පළාත් සභාවේ නාමයෝජනා ලැයිස්තු සකස් කිරීම සඳහා පත් කර ඇති එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා මණ්ඩලය පළමු වරට අද රැස්වීමට නියමිතය.