බොදුබල සේනාව ගැන අමෙරිකාවෙන් ප්‍රකාශයක්

බොදුබල සේනාව ගැන අමෙරිකාවෙන් ප්‍රකාශයක්

July 29, 2014   07:53 am

ව්‍යවස්ථාවෙන් සහ නීති රීති මගින් ශ්‍රී ලංකාව තුළ ආගමික නිදහස තහවුරු කර තිබුණ ද ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බව අමෙරිකාව පවසයි.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අන්තර්ජාතික ආගමික සහජිවනය පිළිබඳ 2013 වාර්ෂික වාර්තාවේ මේ බව සඳහන් වෙයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි විසින් අදාළ වාර්තාව ඊයේ(28)  ප්‍රකාශයට පත් කරනු ලැබුණි.

එම වාර්තාව මගින් 2013 වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ ආගමික වාතාවරණය පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු දක්වා තිබේ.

ශ්‍රී ලංකාවේ සුළු ආගමික කණ්ඩායම්වලට යම් යම් බලපෑම් එල්ල වන බවත්, ඇතැම් ආගමික ස්ථානවලට ප්‍රහාර එල්ල වී ඇති බවත් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි.

බොදුබල සේනා සංවිධානය සහ රාවණා බලය යන සංවිධානය පිළිබඳව ද එම වාර්තාවේ සඳහන් කර තිබේ.

විශේෂයෙන් බොදුබල සේනා සංවිධානය සෘජුවම රජයට සම්බන්ධතාවක් පවතින බවට තහවුරු වී ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ අතර ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් වෙනත් ආගම්වලට බඳවා ගැනීම සිදුවන අතර ඊට ආගමික සංවිධාන මෙන්ම සාමාන්‍ය ජනතාව ද විරුද්ධත්වය පළ කර ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.