පංච පුද්ගල ඝාතනයේ විමර්ශනවල උධෘත නීතිපතිවරයාට යොමු කරන්න

පංච පුද්ගල ඝාතනයේ විමර්ශනවල උධෘත නීතිපතිවරයාට යොමු කරන්න

July 28, 2014   02:44 pm

අනුරාධපුර, විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ සිදුවු පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි හිටපු හමුදා සෙබළාට එරෙහිව අධි චෝදනා ගොනු කිරිම සඳහා විමර්ශන වල උධෘත නීතිපතිවරයාට යොමු කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කර තිබේ.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු යුරේෂා ද සිල්වා මෙනවිය විසින් සැකකාර හිටපු හමුදා සෙබළාව ලබන අගෝස්තු මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද නියෝග කර ඇති බව වාර්තා වෙයි.

රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ බකමූණ, කළුගග, ගොමහන්දිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි හිටපු හමුදා සෙබළෙකි.

අදාළ ඝාතනය සඳහා සැකකරු භාවිත කළ ආයුධ දෙකක් සහ ඇඳුම් කිහිපයක් ඇතුළු සියලු නඩු භාණ්ඩ ඩී.එන්.ඒ පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

එමෙන්ම සැකකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කර ඊට අදාළ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

නොවැම්බර් මස 15 වැනිදා අළුයම අනුරාධපුර, විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ දි කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු කපා කොටා ඝාතනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව චෝදනා එල්ල වි තිබුණි.