සොහොන් බිමක් විනාශ කළා යයි දෙදෙනෙක් අත්අඩංගුවේ

සොහොන් බිමක් විනාශ කළා යයි දෙදෙනෙක් අත්අඩංගුවේ

July 28, 2014   10:28 am

පුරාවිද්‍යා වටිනාකමක් ඇති සොහොන් බිමක් බැකෝ යන්ත්‍රද යොදා ගෙන කඩා විනාශ කළ බව කියන දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය කියයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් පුත්තලම කාර්යාලයේ නිලධාරීන් විසින් පුත්තලම පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පුත්තලම - කොළඹ පාරේ පිහිටි ශාන්ත ක්ලෙමන්ට් දේවස්ථානයට අයත්ව ඇති බව කියන මෙම සොහොන් බිම පුත්තලම අධිකරණ සංකීර්ණයට ආසන්නයේ පිහිටා තිබේ.

මෙම සොහොන් භූමිය තුළ වර්ෂ 1869,1875, 1848, 1865,1889 යන වසර වල මිය ගොස් ඇති අය මිහිදන් කර ඇති බව සිහිවටන පුවරු වල සදහන් වන අතර පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ බව කියන ග්‍රේඩ් මුඩ්ලියර් නම් තනතුර හෙඹවූ ජේ.ආතර් ඩී.සිල්වා වික්‍රමතිලක මහතාගේ ස්මාරකයද ඒ අතර වේ.

විනාශ කර ඇති සොහොන් ස්මාරක රැසක් කිරි ගඩොලින් නිර්මාණය කරන ලද ඒවා වන අතර මෙම සුසාන භූමියේ තිබූ ස්මාරක වලට හානි කරමින් ඒවා කඩා බිද දැමූ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලද්දේ පුරාවිද්‍යා ආඥා පනත සහ සුසාන භූමි ආඥා පනත අනුව බව අප කළ විමසුමකදී පුත්තලම පොලීසියේ නිලධාරියෙක් කියා සිටියේය.

අත්අඩංගුවට ගෙන ඇති අය අතර පුත්තලම - කොළඹ පාර පිහිටි ශාන්ත ක්ලෙමන්ට් දේවස්ථානයේ බාරකරු සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුවෙකුද වන බව සඳහන්ය.

තම දේවස්ථානයට අයත් කොළඹ පිහිටි බිෂොප් පැලස් මගින් අධිකරණයෙන් ලබා ගෙන ඇති අවසරයක් මත මෙම සුසාන භූමිය පිළිසකර කිරීම ආරම්භ කළ බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී පුත්තලම ශාන්ත ක්මෙන්ට් දේවස්ථානයේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.