ඉන්ධන බවුසරයක් ප්‍රපාතයකට පෙරළෙයි

ඉන්ධන බවුසරයක් ප්‍රපාතයකට පෙරළෙයි

July 26, 2014   01:40 pm

කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ ඔත්තෙකඩේ ප්‍රදේශයේ දි ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු බවුසරයක් ප්‍රපාතයකට පෙරළී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද(26) පෙරවරු 09.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

රථයේ තිරිංග අක්‍රියවීම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බව පොලිසිය පැවසුවේය.

අනතුරෙන් රථයේ රියදුරු සහ රථයේ සහයකයා සුළු තුවාල ලබා ඇති බව සඳහන් වෙයි.

මේ අතර බවුසරය පෙරලුණු ස්ථානයට පහළින් කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගය වැටි ඇති අතර බවුසරය දුම්රිය මාර්ගයට පෙරළීමේ අවධානමක් මතුව ඇති බව ද වාර්තා වෙයි.

මේ හේතුවෙන් බණ්ඩාරවෙල සහ දියතලාව අතර දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව නවතා දමා ඇති බව වාර්තා වෙයි.

අනතුර සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.