මිලියන 10 ට අධික රත්‍රං රේගුවේ  හිරවෙයි

මිලියන 10 ට අධික රත්‍රං රේගුවේ හිරවෙයි

July 26, 2014   12:40 pm

නීති විරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළ මිලියන 10කට අධික වටිනාකමින් යුත් රත්‍රං තොගයක් සමඟ කාන්තාවන් තිදෙනෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අද(26) අළුයම මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මින් කාන්තාවන් දෙදෙනෙකු තමන්ගේ ගමන් මළු තුළ සඟවාගෙන රත්‍රං කැබලි 02ක් සහ රත්‍රං මාල 04ක් ඉන්දියාවේ බැංගලෝර් දක්වා ගෙන යාමට උත්සාහ දරා තිබේ.

එහිදි මෙම රත්‍රං අත්අඩංගුවට ගෙන ඇති අතර ඒවායේ බර කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 707 ක් බව වාර්තා වෙයි.

මෙම රත්‍රං වල වටිනාකම රුපියල් අසුපන්ලක්ෂ 95,000 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිනී මහතා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනබව සඳහන් වෙයි.

මේ අතර නීති විරෝධි ලෙස ඉන්දියාවේ චෙන්නායි වලට රත්‍රං ගෙන යාම සඳහා උත්සාහ දැරූ තවත් කාන්තාවක් අද(26) අළුයම ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවටගෙන තිබේ.

මෙම සැකකාරිය තමන්ගේ ගමන්මල්ලේ සඟවාගෙන අදාළ රත්‍රං රැගෙන යාමට උත්සාහ දරා ඇති බව වාර්තා වෙයි.

ග්‍රෑම් 458ක් බරැති රත්‍රං මෙලෙස සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් විසි ලක්ෂ 85,000ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම කාන්තාව මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර මේ සම්බන්ධයෙන් රේගු අධිකාරී සමන් බාලසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදුකරයි.