ඉන්දියාවෙන් වීසා ඉල්ලුවේ   නෑ

ඉන්දියාවෙන් වීසා ඉල්ලුවේ නෑ

July 26, 2014   12:05 pm

ඉන්දියාවේ සංචාරය කිරීම සඳහා වීසා ඉල්ලුම් නොකළ බව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ මණ්ඩලය පවසයි.

අදාළ පරීක්ෂණය සිදුකිරීම සඳහා ඉන්දියාව වීසා ලබාදීම ප්‍රතික්ෂේප කළ බවට පළ වාර්තා සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව පවසා තිබේ.

උතුරේ මානුෂීය මෙහෙයුම් පැවති සමයේ සිදුවු බව කියන මානව හිමිකම් කඩවීම් පිළිබද පරීක්ෂණයක් පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය විසින් කමිටුවක් පත් කරනු ලැබුණි.

විශේෂඥයින් තිදෙනෙකුගෙන් යුත් මෙම කමිටුවට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවසර ලබා නොදෙන බවට ශ්‍රී ලංකා රජය මේවන විටත් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මොවුන් රටවල් 03 ක සිට පරීක්ෂණ පැවැත්වීමට මේවනවිටත් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර පරීක්ෂණ කණ්ඩායම ඉන්දියාවට පැමිණීම සඳහා වීසා ඉල්ලුම් කළ බවත්, අදාළ ඉල්ලීම ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත් පසුගිය දා මාධ්‍ය වාර්තා පළ වුණි.

කෙසේ වෙතත් විමර්ශන කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ඉන්දියාවට පැමිණීම සඳහා වීසා ලබා දිය යුතු බවට තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් සහ ඉන්දීය පී.එම්.කේ පක්ෂය ද ඉල්ලීම් කර තිබුණි.