රජරට වැව්වල රොන්මඩ ඉවත් කෙරෙයි

රජරට වැව්වල රොන්මඩ ඉවත් කෙරෙයි

July 26, 2014   08:16 am

වගාවන් සඳහා ප්‍රමාණවත් තරම් ජලය නොමැතිවිම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව ගල්නෑව, නෑගම්පහ, පලාගල ප්‍රදේශයේ ගොවීන් පවසයි.

ඔවුන් චෝදනා කරන්නේ පවතින වැව් වල රොන් මඩ ඉවත් නොකිරීම හේතුවෙන් ඒවායේ ජල ධාරිතාව අවම මට්ටමකට පැමිණ ඇති බවයි.

වැව් වල රොන් මඩ ඉවත්කොට ප්‍රතිසංස්කරණය කිරීම මගින් රජරට ප්‍රදේශයේ වැව්වල ජල ධාරිතාව ඉහළ නංවාගත හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව්වල රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ යටතේ අනුරාධපුර මහකණදරාව වැවේ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු ඊයේ(25)  පසුවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබේ.

නියගයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමේ අරමුණින් ක්‍රියාවට නංවා ඇති මෙම වැඩපිළිවෙල සදහා රජය රුපියල් මිලියන 300 ක මුදලක් වෙන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.