හෝමාගම සභාපති ධූරය ගැන සන්ධානයේ තීරණයට අභියාචනා අධිකරණය හරස්වෙයි

හෝමාගම සභාපති ධූරය ගැන සන්ධානයේ තීරණයට අභියාචනා අධිකරණය හරස්වෙයි

July 25, 2014   06:00 pm

හෝමාගම ප්‍රාදේශිය සභාවේ අයවැය දෙවන වරට පරාජය වීමෙන් අනතුරුව එහි සභාපති ධුරය රුවන් ප්‍රබෝද් පිරිස් මහතාට ලබාදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය ගනු ලැබු තීරණය අභියාචනාධිකරණය විසින් අත්හිටුවා තිබේ.

ඒ අනුව ප්‍රාදේශිය සභාවේ සභාපති ධුරය එහි උප සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ඉන්දික කෝරළගේ මහතාට ලබාදෙන ලෙස අභියාචනාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා නියෝග කර ඇත.

හෝමාගම ප්‍රාදේශිය සභාවේ 2014 සභාවේ අයවැය දෙවන වරට පරාජයට පත්වීමෙන් පසු එහි සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ඒ.ඩි කුමාරසිරි මහතාට එම ධුරය අහිමි විය.

ඉන්පසු උප සභාපති ඉන්දික කෝරළගේ මහතා වැඩ බලන සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ද අයවැය පරාජය කිරීමට ඡන්දය ප්‍රකාශ කිරිම හේතුවෙන් ඔහුට සභාපති ධුරය ලබා නොදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබුණි.

ඒ අනුව හෝමාගම ප්‍රාදේශිය සභාවේ සභාපති ධුරය සඳහා රුවන් ප්‍රබෝද් පිරීස් මහතා පත් කිරිමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කළ අතර එම තීරණය මැතිවරණ කොමසාරිස්වරයා විසින් ද පිළිගනු ලැබිණි.

කෙසේ වෙතත් සන්ධානයේ මෙම තීරණයට එරෙහිව ඉන්දික කෝරළගේ මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන ලදී.

අදාළ නඩුව යළිත් සැප්තැම්බර් මස 27 වන දා කැඳවීමට නියමිතය.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.