බිඳවැටෙන පාලනයට ජාතිවාදයෙන් මුක්කු ගහනවා

බිඳවැටෙන පාලනයට ජාතිවාදයෙන් මුක්කු ගහනවා

July 25, 2014   05:00 pm

බිඳ වැටෙමින් පවත්නා රාජපක්ෂ පාලනය ජාතිවාදය යොදාගෙන පාලනය තවදුරටත් අල්ලාගෙන සිටීමට උත්සාහ දරන බව ජ.වි.පෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී,සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පවසයි.

එම ක්‍රියාදාමයට ඇතැම් ජාත්‍යන්තර රටවල්ද සහයවන බව මෑත කාලීන ජාත්‍යන්තර සිදුවීම් දෙස බැලීමේදී දැකගන්නට ලැබෙන බව හෙතෙම කියා සිටියේ අද (25) ජාතිවාදයට එරෙහි බැනර් අත්සන් කිරීමේ ව්‍යාපාරයට එක්වෙමිනි.

ජාත්‍යන්තර වශයෙන් ජාතීන්ගේ සුළු ප්‍රශ්න මහාපරිමාණ ගැටළු බවටත්, එකී ගැටළු ගැටුම් බවටත් පත්කර දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ ගැනීමක් දැකිය හැකි බවද ඔහු එහිදී අවධාරණය කළේය.

විශේෂයෙන්ම පකිස්ථානය,යුක්‍රේනය,පලස්තීනය,ඉරානය,ඇෆ්ගනිස්ථානය ආදී ආදී රටවල මෙම තත්ත්වය අත්දැකිය හැකිවූ බවත්, එවැනි බෙදුම්වාදී අන්තවාදී දේශපාලනය පරාජය කිරීමට සියලුම දෙනා අත්වැල් බැඳගතයුතුව ඇති බවත් බිමල් රත්නායක මහතා පෙන්වා දුන්නේය.

කිලිනොච්චියේ සිට හම්බන්තොට දක්වාම සෑම නගරයකම හින්දු දේවස්ථාන, බෞද්ධ පන්සල්, කතෝලික දේවස්ථාන, මුස්ලිම් පල්ලි ආදියට එක්රැස්වුණු දස දහස් සංඛ්‍යාත ජනතාවක් නැවතත් ජාතිවාදය හෝ ආගම්වාදය ඇති නොවිය යුතු බවට ශපථ කොට බැනර් අත්සන් ව්‍යාපාරයට තම අත්සන එකතු කළ බව හෙතෙම සඳහන් කළේය.

83 වසරේදී එවක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පාලකයින් කිහිපදෙනෙකු විසින් මැදිහත්වී අවුළුවන ලද ජාතිවාදී ගින්න පසු කලෙක දශක ගණනාවක් පුරා ඇවිළුණු යුද්ධයක් බවට පරිවර්තනය වූ බව රත්නායක මහතා පෙන්වා දුන්නේය.

එම යුද්ධයෙන් ප්‍රතිඵලයක් ලෙස සිංහල,ද්‍රවිඩ ජනයා දහස් සංඛ්‍යාත පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බවත්, මන්නාරම හා කාත්තන්කුඩි වැනි ප්‍රදේශවලින් මුස්ලිම් ජනයා පළවා හැරුණු බවත් ඔහු සිහිපත් කළේය.

නැවත වතාවක් එවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇතිකිරීමෙහිලා වත්මන් ආණ්ඩුවේ අනුග්‍රහයෙන් නීතිමය රැකවරණයෙන් ආශිර්වාදය ලැබූ ජාතිවාදීන් පිරිසක් මේ මොහොතේ ජාතිවාදය අවුළුවමින් සිටින බව හෙතෙම අවධාරණය කළේය.

මෙම ජාතිවාදී පිරිස් මගින් ගැටුම්කාරී තත්ත්වයක් ඇවිළවීමෙන් පසු එය දඩමීමා කරගෙන ආගමික සංවිධාන, සිවිල් සංවිධාන,වෘත්තීය සමිති ආදිය මර්දනය කිරීමට පියවර ගත හැකි බවත්, ආණ්ඩුව එය සිදුකරමින් සිටින බවත් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.