ශ්‍රී ලාංකික සරණාගතයින් සමග කතාකරන්න ඕනෑ - ඉන්දියාව ඔස්ට්‍රේලියාවෙන් ඉල්ලයි

ශ්‍රී ලාංකික සරණාගතයින් සමග කතාකරන්න ඕනෑ - ඉන්දියාව ඔස්ට්‍රේලියාවෙන් ඉල්ලයි

July 23, 2014   10:16 am

තමිල්නාඩුවේ පුදුච්චෙරි ප්‍රදේශයේ සරණාගත කඳවුරක සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණයවූ ශ්‍රී ලාංකික සරණාගතයින් 157 දෙනෙකු සමග කතා බහ කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉන්දියානු මධ්‍යම රජය ඔස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ සිටින ඉන්දීය තානාපති ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින්ට ඒ සඳහා අවස්ථාව ලබාදිය යුතුව ඇති බව ඉන්දීය රජය විසින් පෙන්වාදී දී ඇති බව ඉන්දීය පුවත් සේවා උපුටා දක්වයි.

කෙසේ වුවද ඊයේ දිනයේ (22) ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු අමාත්‍ය ස්කොට් මොරිසන් ඉන්දියාවේ සංචාරයක නිරතවී තිබේ.

එය ඔස්ට්‍රේලියානු ආගමන අමාත්‍යවරයෙකු ඉන්දියාවේ සංචාරය කළ පළමු අවස්ථාව ලෙස රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සලකුණු වී ඇති අතර එහිදී ඉන්දීය විදේශ අමාත්‍ය සුස්මා ස්වරාජ්,ඉන්දීය ස්වදේශ අමාත්‍ය රාජ්නාත් සිං යන අය හමුවී මෙම ප්‍රශ්නය පිළිබඳ පුළුල් වශයෙන් සාකච්ඡා කර ඇත.

කිසියම් ස්වදේශිකයෙකු නීති විරෝධී ලෙස වෙනත් රටකට ඇතුළුවීම හෝ වෙනත් රටක අයෙකු නීති විරෝධී ලෙස ඉන්දියාවට ඇතුළුවීම තමන් පිළිනොගන්නා බවත්, එහිදී නීතිමය වශයෙන් කටයුතු කළ යුතුව ඇති බවත් ඉන්දීය ස්වදේශ අමාත්‍ය රාජ්නාත් සිං පෙන්වාදී තිබේ.

එසේ වුවද තමිල්නාඩුවෙන් ඔස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස සංක්‍රමණයවූ පිරිස් අතර කුඩා දරුවන්ද සිටින බැවින් නීත්‍යනුකූලව මෙන්ම මානුෂීයවද ක්‍රියාමාර්ග ගතයුතුව ඇති බවත්, එබැවින් ඔවුන් සමග සාකච්ඡා කිරීමට ඉඩකඩ ලබාදිය යුතුව ඇති බවත් ඉන්දීය අමාත්‍යවරුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.