විභාග වලට පෙර අනුමාන ප්‍රශ්න තහනම්

විභාග වලට පෙර අනුමාන ප්‍රශ්න තහනම්

July 23, 2014   07:45 am

ජාතික මට්ටමේ විභාග ආරම්භ කිරීමට දින 05 පෙර සිට විභාගය අවසන්වන දිනය දක්වා සම්පුර්ණ කාලය තුළ අදාළ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම තහනම් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ ඊට අමතරව අදාළ කාලය තුළ විෂයානුබද්ද දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම ද තහනම් බවයි.

එමෙන්ම අදාළ විභාග සඳහා වන අනුමාණ ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම තහනම් බව සඳහන් වෙයි.

විභාග ප්‍රශ්න පත්‍ර වල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒහා සමාණ ප්‍රශ්න පත්‍ර ලබා දෙන බවට පෝස්ටර්, බැනර් අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රකාශ කිරීම හෝ එවැනි දේ ළඟ තබා ගැනීම ද සපුරා තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙවර අධ්‍යයන් පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව ජුලි මස 30 වන දින මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන දින දක්වා කාලය තුළ අදාළ නියෝගය බල පැවැත්වෙන බව සඳහන් වෙයි.

මෙවර 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට අදාළව ලබන අගෝස් තු මස 11 වන දින සිට විභාගය පැවැත්වෙන දිනය දක්වා කාලය තුළ ද මෙම රෙගුලාසි ක්‍රියාත්මක වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.