විදුලි පුටුවට නැඟීමට සූදානම් කී ජනාධිපති හදිසියේ කරණමක් ගහලා

විදුලි පුටුවට නැඟීමට සූදානම් කී ජනාධිපති හදිසියේ කරණමක් ගහලා

July 22, 2014   04:30 pm

ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ කාර්යාලය මගින් කරන පරීක්ෂණයක් හරහා ශ්‍රී ලංකාවේ සාමය හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය අනතුරට පත් වන බව කියමින් ඊට විපක්ෂයේ සහාය ලබා ගැනීමට අසාර්ථක උත්සාහයක නිරත වු රජය දැන් එම කාරණය ගැන රහසේ කූඨ ලෙස අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව එජාපය පවසයි.

වීරෝධාර ආරක්ෂක අංශ පාවාදීම වෙනුවට තමන් “විදුලි පුටුව” ට මුහුණ දීමට සූදානම් කී ජනාධිපතිවරයා විසින්ම අමාත්‍ය මණ්ඩලයට පමණක් නොව පාර්ලිමේන්තුවටද නොදන්වා සිදුවූවා යැයි කියන යුද අපරාධ ගැන පරීක්ෂණයක් පිළිගෙන ඇතැයි යන්න පසුගිය ජූලි 15දා නිකුත් කළ ගැසට් නිවේදනයෙන් තහවුරු වන බවයි.

එම පක්ෂය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වන අතර එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.



ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද ජූලි 15 වන දින දාතමින් ගැසට් කරන ලද නිවේදනය මඟින් යුද්ධයේ අවසාන භාගයේ දී සිදුවූවා යැයි චෝදනා එල්ල වන යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පිළිගෙන තිබේ. ඒ අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා පත් කර ඇති කොමිසමේ කාර්යභාරය හා විෂයපථය තවත් පුළුල් කරමින් ඊට උපදෙස් ලබාදීමට නව කමිටුවක් මෙම ගැසට් නිවේදනය හරහා ප්‍රකාශයට පත් කරමිනි. එක්සත් ජාතින්ගේ යුද අපරාධ අධිකරණයන් හි කටයුතු කළ අභිචෝදකයන් තිදෙනෙකුව උපදේශකයන් ලෙස නම් කරමින් මෙම කමිටුව පිහිටුවා ඇත. දැන ගන්නට ඇති අන්දමට තවත් කිහිප දෙනෙකු ඒ සඳහා නම් කිරීමට නියමිතය.

මීට වසර පහකට පමණ පෙර එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජයට පත් කිරීමෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය නිරතුරුවම අවධාරණය කළ ප්‍රධානතම කාරණයක් වූයේ ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට එරෙහිව යුද අපරාධ චෝදනා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේ අවශ්‍යතාවයක් නොමැති බව ය. ඒ, ශ්‍රී ලංකා ආරක්ෂක අංශ එවැනි කිසිදු වරදක් නොකළ බව කියමිනි. එම ස්ථාවරය ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ හා දේශීයව අවස්ථා රැසක දී රජය පැහැදිලි ලෙස ම උස් හඬින් අවධාරණය කරන ලදී.

“විජයග්‍රහණයේ සැමරුම්” දිනයේ දී ජාතිය අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ පුන පුනා අවධාරණය කළ කරුණක් වූයේ අපගේ හමුදාවන් එක් අතකින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය හා අනෙක් අතින් තුවක්කුව ගෙන සතුරාට එරෙහිව සටන් කළ බව ය. පසුගිය වසරේ පැවැති දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී ජනතාව අමතමින් ජනාධිපතිවරයා දැඩිව අවධාරණය කළ කරුණක් වූයේ රටේ වීරෝධාර ආරක්ෂක අංශ පාවාදීම වෙනුවට තමන් “විදුලි පුටුව” ට මුහුණ දීමට සූදානම් බව ය. ජනාධිපතිවරයා විසින් අවස්ථා කිහිපයක දීම එම ප්‍රකාශය සිදු කළ අතර, සන්ධාන රජයේ ප්‍රකාශකයන් ද අවධාරණයෙන් යුතුව සඳහන් කළේ කිසිදු ආකාරයක විදේශ මැදිහත්වීමකට තමන් ඉඩ නොතබන බව ය. වත්මන සන්ධාන රජයේ ප්‍රධාන හවුල්කාර පාර්ශව දෙකක ප්‍රධාන සටන් පාඨය වූයේ එය ය.

එසේ නමුත් දැන් තත්ත්වය කණපිට පෙරළී තිබේ. ජනාධිපතිවරයා විසින් නිකුත් කළ නිවේදනයෙන් පෙනෙන්නට ඇත්තේ සිදු කළා යැයි චෝදනා එල්ල වෙන යුද අපරාධ විභාග කිරීම සදහා පරීක්ෂණයක් පැවැත්වීමට ඇති රජයේ සූදානම ය. එසේ කිරීම තුළ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට වන ජාත්‍යන්තර ප්‍රජාවේ මතය සමඟ රජය එකඟ වූ ආකාරයක් දැකගත හැකිය. එක්සත් ජාතික පක්ෂය විසින් නිරතුරුවම අවධාරණය කර සිටි ආකාරයට රජය එබඳු ස්ථාවරයක් වසර කිහිපයකට පෙර ගත්තේ නම් අප රටට එරෙහිව සිදු වුණා වූ අතිවිශාල හානියක් වළක්වා ගැනීමේ පැහැදිළි හැකියාව තිබුණි. එසේ සිදු කළේ නම් වර්තමානයේ ක්‍රියාත්මක ජාත්‍යන්තර පරීක්ෂණයේ වලංගුභාවය ප්‍රශ්න කිරීමේ තාර්කික හැකියාවක් ලැබෙනවා නිසැකය.

අනෙක් අතට මෙහි ඇති බරපතළම කාරණය වනුයේ කිසිවකුට නොදන්වා රහසේ රජය මෙය සිදු කිරීමය. අතිශය වැදගත් කාරණයක් සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රතිපත්තිමය වෙනස්කමක් මෙලෙස රහසේ සිදුකිරීම සම්බන්ධව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය ජනතාවට උත්තර බැඳිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ දැඩි විශ්වාසය යි. පෙනෙන්නට ඇති අන්දම ට මෙම ක්‍රියාවලිය කැබිනට් අමාත්‍යවරුන්ගේ අනුදැනුමකින් තොරව එහි අනුමැතිය රහිතව සිදුව ඇත. ඔවුන්ව මේ පිළිබඳව දැනුවත් කළ බවට කිසිදු සඳහනක් ප්‍රකාශයට පත්ව නොතිබුණි. අමාත්‍යවරුන්ට පමණක් නොව මේ කාරණය පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීමට ද එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය වගබලා ගත්තේය.

සිදු වුණා යැයි කියන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය කටයුතු කළ අවස්ථාවේ දී ඊට එරෙහිව පසු ගිය මාසයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගන්නා ලදී. ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ පක්ෂවල සහාය ලබා ගැනීමට ද රජය උත්සාහ කරන ලදී. “එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමාසාරිස්වරියගේ කාර්යාලය මගින් සිදුකිරීමට සැරසෙන ජාත්‍යන්තර පරීක්ෂණය හරහා ශ්‍රී ලංකාවේ සාමය හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය දුර්වල කිරීමක් සහ එය රටේ ස්වෛරීභාවය, ගෞරවය හා අභිමානය පළුදු කිරිමක් වන බැවින්” එම උත්සාහයට එරෙහිව ශ්‍රී ලංකා විරෝධය දැක්වීම වෙනුවෙන් එබඳු යෝජනාවක් ගෙන ආ බව රජය ඒ අවස්ථාවේ දී ප්‍රකාශ කරන ලදී. එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ දෙබිඩි පිළිවෙත පිළිබඳ ඇති මනා අවබෝධය නිසා ම එක්සත් ජාතික පක්ෂය එම උත්සාහයට සහාය දැක්වීමෙන් වැළකුණු අතර , ඒ වෙනුවට යෝජනාවට සංශෝධන කිහිපයක් අප ඉදිරිපත් කරන ලදී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ කාර්යාලය මගින් සිදු කරන පරීක්ෂණයක් හරහා ශ්‍රී ලංකාවේ සාමය හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය අනතුරට පත් වන බව කියමින් ඒ සඳහා විපක්ෂයේ සහාය ලබා ගැනීමට අසාර්ථක උත්සාහයක නිරත වු වත්මන් රජය දැන් ඒ කාරණය සම්බන්ධයෙන් ම අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට රහසේ කූඨ ලෙස කටයුතු කරමින් සිටී. එසේ කරත් දී තම අමාත්‍ය මණ්ඩලය, පාර්ලිමේන්තුව හා මේ රටේ ජනතාව නොසලකා හැරීමට ඔවුන් කටයුතු කර ඇත. ජනතාවගෙන් සත්‍යය වසන් කිරීමට ඔවුන් මේ තරම් උනන්දුවන්නේ ඇයි ? එය මෙම සමස්ත සිදුවීම් ජාලය ප්‍රවේශමෙන් නිරීක්ෂණය කරන විට ඕනෑම කෙනෙකු තුළ මතු වන සාධාරණ සැකයකි.

රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ දී ඊට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ට, සිදුව ඇති මෙම අලුත් වර්ධනයන් සමඟ නිරුවත් වීමට සිදුවීම එක් අතකින් කනගාටුදායක ය. රටේ විරෝධාර ආරක්ෂක අංශ පාවාදීම වෙනුවට තමන් “විදුලි පුටුව” ට නැඟීමට සූදානම් බව ට ආත්ම වර්ණනා සිදු කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ කිසිවකුට නොදන්වා රහසින් මෙවැනි “කරණමක්” ගැසීම ගැන සියලු දෙනාම පමා වී හෝ දැනුවත් කිරීම වැදගත් ය.

එසේම මෙම ක්‍රියාවලිය සැබැවින්ම රටක් ලෙස ශ්‍රී ලංකාව ගැන අවධානය යොමු කරමින් ගත් එකක් ද නොඑසේ නම් රහස් රාජතාන්ත්‍රික ගනුදෙනුවලට සම්බන්ධ අඥාන, බලගතු අතරමැදියන් කිහිප දෙනෙකුගේ උවමනාව තුළ ගත් එකක් ද සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ අයිතියක් මෙරට ජනතාවට ඇති බව එක්සත් ජාතික පක්ෂයේ විශ්වාසයයි. එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයන්ගේ ඥාතීන්ට හා කිසිදු සුදුසුකමක් නැති ඔවුන්ගේ මිතුරන්ට සුවපහසු රැකියා ලබාදෙන මධ්‍යස්ථාන බවට රටේ විදේශ දූත සේවාව පත්ව තිබිය දී සිදු වන්නා වූ මෙම රහස් රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු සම්බන්ධයෙන් ජනතාවට සත්‍යය අනාවරණය කිරීමේ අනිවාර්යය වගකීමක් හා යුතුකමක් රජයට පැවරී තිබේ.

2014. 07. 22