චන්ද්‍රිකා කේබල් රූපවාහිනි සේවයක් පවත්වාගෙන ගිහින් මාට්ටු

චන්ද්‍රිකා කේබල් රූපවාහිනි සේවයක් පවත්වාගෙන ගිහින් මාට්ටු

July 22, 2014   03:46 pm

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිසි අවසර පත‍්‍රයක් නොමැතිව තලවාකැලේ ප‍්‍රදේශයේ චන්ද්‍රිකා කේබල් රූපවාහිනි සේවයක් පවත්වාගෙන ගිය සැකකරුවෙක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් නීතියේ රැහැනට කොටුකරගෙන තිබේ.

මෙම සැකකරු තලවාකැලේ නගර මධ්‍යයේ රූපවාහිනී විකාශන මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති අතර මොහු විසින් නගරය පුරා කේබල් මාර්ගයෙන් චන්ද්‍රිකා රූපවාහිනි සේවාවන් ලබාදී ඇති අතර මොහු එක් අයෙකුගෙන් රු. 500 සිට 1000 දක්වා මුදලක් අයකරගෙන ඇත.

සැකකරු සමඟ අදාළ චන්ද්‍රිකා රූපවාහිනි විකාශන මධ්‍යස්ථානයේ තිබූ සියලූම විද්‍යුත් උපකරණද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරීන් බාරයට ගෙන තිබේ.

අදාළ සැකකරුට එරෙහිව අධිකරණයේ නඩුපවරන බව එම කොමිෂන් සභාවේ නිලධාරියෙකු පැවසුවේය.

වතුකරයේ ප‍්‍රධාන නගර කීපයකම මෙවැනි චන්ද්‍රිකා රූපවාහිනි විකාශන කටයුතු සිදුකරන අතර ඇතැම් පිරිස් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ බල පත‍්‍රයක් සහිතව මෙම විකාශන කටයුතු සිදුකරගෙන යනු ලබයි.