සරණාගතයින් 153 දෙනාගේ අවනඩුව තවදුරටත්

සරණාගතයින් 153 දෙනාගේ අවනඩුව තවදුරටත්

July 22, 2014   01:08 pm

ශ්‍රී ලාංකික සරණාගතයින් 153 දෙනෙකු ඔස්ට්‍රේලියාවේ රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු මහාධිකරණයේ විභාග වන නඩුවට අදාළ විත්ති වාචකය ඔස්ට්‍රේලියානු රජය විසින් ඉදිරිපත් කර තිබේ.

මේ පිළිබඳ චෝදනා ගොනු කිරීම සඳහා අධිකරණය විසින් ලබාදුන් කාලසීමාවෙන් පැය 19ක් ගත වු පසු ඔස්ට්‍රේලියානු රජය විසින් විත්ති වාචකය ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

අදාළ ශ්‍රී ලාංකික දෙමළ සරණාගත පුද්ගලයින්ගේ ගැටලුව සම්බන්ධයෙන් අද දිනයේ ද ඔස්ට්‍රේලියානු මහාධිකරණයේ දී තවත් නඩු වාරයක් පැවැත්වීමට නියමිත බව සඳහන්ය.

සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් පසුගිය සතියේ ප්‍රකාශ කර තිබුණේ ඔස්ට්‍රේලියානු රජය සරණාගතයින් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය ඔවුන් අපේක්ෂා කළ පරිදි ඉටු වී නොමැති බවයි.

එම සරණාගතයින් ඔස්ට්‍රේලියානු රේගුවට අයත් යාත්‍රා තුළ රඳවා සිටින බවත් ඔවුන්ට නිදහසේ සැරිසැරීමට ඇති අයිතිය උල්ලංඝණය කර ඔවුන්ගේ පවුල්වල ඥාතීන් වෙන්කර තැබීමට බලධාරීන් පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.