බඹරුන් ඇවිස්සී සිඟිත්තන් 28 ක් ඇතුළු 47 ක් රෝහලේ

බඹරුන් ඇවිස්සී සිඟිත්තන් 28 ක් ඇතුළු 47 ක් රෝහලේ

July 22, 2014   11:00 am

කතරගම රෝහල පිටුපස ප්‍රදේශයෙහි පවත්නා මල්ලිකාරාම විහාරස්ථානයේ පවත්වාගෙන යනු ලැබූ පෙර පාසලකට බඹර ප්‍රහාරයක් එල්ලවීමෙන් සිඟිති දරුවන් 28 දෙනෙකු ඇතුළු 47 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

සිඟිති දරු දැරියන් 28 දෙනාට අමතරව වැඩිහිටි පිරිමි පුද්ගලයින් 3 දෙනෙකුද, ස්ත්‍රීන් 16 දෙනෙකුද බඹර ප්‍රහාරයට ලක්ව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙම බඹර ප්‍රහාරය අද (22) පෙ.ව 7.45 ට පමණ එල්ලවී ඇති බවත්, තුවාල ලැබූවන් කතරගම දිසා රෝහලට ඇතුළත් කර ඇති බවත් අප වාර්තාකරු කියා සිටියි.

කෙසේ වෙතත් රෝහලට ඇතුළු කළ පිරිසෙන් එක් දරුවෙකුගේ සහ ස්ත්‍රීයකගේ තත්ත්වය තරමක් බරපතළ බැවින් ඔවුන් දෙදෙනා තිස්සමහාරාම මූලික රෝහලට මාරුකර යැවූ බව දිස්ත්‍රීක් වෛද්‍ය නිලධාරී ආර්.පී සරත් මහතා අද දෙරණට සඳහන් කළේය.

මෙම පෙර පාසල ඉදිරිපිට අඹ ගසක පැවති බඹරයක් සුළං වේගය නිසා අඹ අතු එකිනෙක ඇතිල්ලීමෙන් කඩාවැටී බඹරුන් ඇවිස්සී ඇති බව ප්‍රදේශවාසීන් කියා සිටියි.