මලයාසියා යානය බිම දැම්මේ මිසයිලයක්?
සයුරෙන් එතෙර

මලයාසියා යානය බිම දැම්මේ මිසයිලයක්?

July 18, 2014   09:21 am

පුද්ගලයින් 295 දෙනෙකුට මරු කැඳවමින් කඩා වැටුණු මලයාසියානු ගුවන් යානා අනතුරට හේතුව යු‍ක්රේන කැරලිකරුවන්ගේ මිසයිල ප්‍රහාරයක් දැයි සැක මතුව තිබේ.

එසේ ප්‍රහාරයට ලක්වූයේ මැලේසියානු ගුවන් සේවයට අයත් බොයිං 777 වර්ගයේ ගුවන් යානයකි.

එම අවස්ථාව වන විට නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සිට මැලේසියාවේ ක්වාලාලාම්පුර් නුවර දක්වා යානය ගමන් කරමින් තිබිණ.

අඩි 33,000ක් පමණ ඉහළින් පියාසර කරමින් තිබු යානය රුසියානු දේශ සීමාවට ආසන්න යුක්රේනයේ, ඩොනෙට්ස්ක් පළාතේ ටොරෙස් නැමති නගර ආශ්‍රිත ප්‍රදේශයකට කඩා වැටී ඇත.

මෙය යුක්රේන කැරලිකරුවන්ගේ මිසයිල ප්‍රහාරයකින් සිදුව ඇති බවට වාර්තා විය.

කෙසේ වුවද යුක්රේන ජනාධිපති පෙට්රෝ කොරෂෙන්කෝ සඳහන් කර ඇත්තේ යුක්රේන හමුදා අහසේ ඉලක්ක වෙත කිසිදු ප්‍රහාරයක් එල්ල කර නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ මැලේසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් ප්‍රකාශ කර ඇත්තේ අනතුර සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන ආරම්භ කරන බවයි.

මේ වසරේ මාර්තු 08 වැනිදා ක්වාලාලාම්පුර් නුවර සිට බීජිං බලා පියාසර කරමින් තිබු මැලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච් 370, බොයිං 777 වර්ගයේ ගුවන් යානයක් අතුරුදන් විය.

එම යානයට සිදුවු දේ පිළිබඳ මෙතෙක් කිසිදු හෝඩුවාවක් ලැබී නොමැති අතර එහි ගමන් කරමින් සිටි මගින් 239 දෙනා මිය යන්නට ඇති බවට විශ්වාස ‍කෙරෙයි.

1983 වසරේ සිට මගී ප්‍රවාහන ගුවන් යානා 04ක් පමණ වෙඩි ප්‍රහාරයට ලක්ව කඩා වැටී ඇත.

මගින් 239 දෙනෙකු රැගත් කොරියානු ගුවන් සේවයට අයත් යානයක් 1983 වසරේ දී සෝවියට් ප්‍රහාරයකින් විනාශ වී තිබුණි.

ඉරාන ගුවන් සමාගමට අයත් එයාර්බස් වර්ගයේ ගුවන් යානයක් මගින් 290 දෙනෙකු සමගින් විනාශයට පත්වූයේ අමෙරිකානු යුධ නැවක සිට එල්ල කළ ප්‍රහාරයක් වැරදී යාම හේතුවෙනි.

1993 වසරේ දී ජෝර්ජියා ගුවන් සේවයට අයත් යානා තුනකට එල්ල වූ මිසයිල ප්‍රහාර වලින් පුද්ගලයින් 136 දෙනෙකු මියැදිණ.

2001 වසරේ දී සයිබිරියානු ගුවන් සේවයට අයත් යානයකට එල්ල වූ ප්‍රහාරයකින් මගින් 78 දෙනෙකු සමග යානය කළු මුහුදට කඩා වැටී තිබුණි.