අම්මේ මෙහෙම නොකරන් අපි දෙන්නාට

අම්මේ මෙහෙම නොකරන් අපි දෙන්නාට

July 12, 2014   07:22 pm

ගලේවෙල, බුලනවැව, බොරළුකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි කතක් 2009 වසරේදී විදේශ රැකියාවකට ගොස් ඇති අතර මේ දක්වා ඇය නොපැමිණිමෙන් ඇයගේ සැමියා, ආබාධිත දියණියක හා පුතා දැඩි අසරණ තත්ත්වයට පත්ව තිබේ.

එච් .එම් .ජයතිලක (47) මහතා සිය බිරිඳ වන ඩී.එම්. රන්මැණිකේ සෞදි අරාබියාවේ ගෘහ සේවයට ගොස් ඇත්තේ ආබාධිත දියණිය සහ පාසල් යන පුතා ජිවත් කරවීමට මෙන්ම ප්‍රතිකාර සඳහා මුදල් නොමැති කම නිසාය.

2009 වසරේ රට ගිය ඇය තවමත් ලංකාවට පැමිණ හෝ මුදල් එවන්නේද නැති බව සැමියා කියයි.ඇය සිය දරුවන්ට, සැමියාට කතා කිරීම පවා නවතා දමා ලංකාවට නොඑන බව සැමියාට දැනුම් දී ඇත.

මෙම වාතාවරණය යටතේ ජයතිලක සිය මානසික රෝගයකින් පෙළෙන 21 හැවිරිදි දියණිය චාපා ජයතිලකත් 14 හැවිරිදි පුතා දිනේෂ් ජයතිලකත් හදා ගැනීමට සිදුව තිබේ.

කුලී වැඩ කරන ජයතිලක දියණියගේ සියලු වැඩ කරනු ලබන්නේ මවක මෙන්ය.14 හැවිරිදි දිනේෂ් පාන්දර අවදි වී ආහාර පිස අක්කාටද කන්න දී පාසල් යයි. දිනේෂ්ට කුස්සියේ සියලු වැඩ කරන්නට හැකියාව ඇත.

ජයතිලක මහතා සිය දරුවන් දෙදෙනා වෙනුවෙන් මහත් වූ වෙහෙසක් දරයි.දියණිය නැවීම, රෙදිසේදීම, කොණ්ඩය පීරා පිරිසිදු කිරීම ආදී වැඩ කරද්දී ඔහුට කුලියක් කරන්නටද වෙලාවක් නොමැති තරම්ය.

දරුවන් දෙදෙනාම සිය මවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට කිසිවක් අවශ්‍ය නැති බවත් අම්මා පමණක් අවශ්‍ය බවය.දිනේෂ් උදේ සවස බුදුන් වැද අම්මා එන්නයි ප්‍රර්ථනා කරයි.

මේ අසරණ පවුලට කිසිදු ආදායමක් නැත .ඔවුන්ට ජිවත් වීම සඳහා කාගේ හෝ උපකාරයක් අවශ්‍ය වී ඇත . 0779569111 අංකයෙන් ජයතිලක මහතා ඇමතිය හැක. ගලේවෙල ලංකා බැංකුවේ ගිණුම් අංක 5774369ට ආධාරයක් කළ හැකිය .

ඡායා රූ - කාංචන කුමාර ආරියදාස