අයිෆල් කුළුණ පරයන ලොව උසම පාළ‍ම ඉන්දියාවේ!
සයුරෙන් එතෙර

අයිෆල් කුළුණ පරයන ලොව උසම පාළ‍ම ඉන්දියාවේ!

July 11, 2014   05:03 pm

ඉන්දියාවේ හිමාල ප්‍රදේශයේ ඉදිවන දුම්රිය මාර්ගය සහිත ලොව උසම පාළමේ කටයුතු 2016 වසර අවසන් වන විට නිම කිරීමට අපේක්ෂා කරන බව ඉන්දීය බලධාරීන් පවසයි.

හිමාල ප්‍රදේශයේ චෙනාබ් ගංගාවට ඉහළින් ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව මෙම පාළම ඉදිවන බව සඳහන්ය.

මීටර් 359ක උසකින් යුතුව ඉදිවන මෙම දුම්රිය මාර්ගය සහිත පාළම ලොව ප්‍රකට ප්‍රංශයේ අයිෆල් කුළුණට වඩා මීටර් 35ක උසින් යුක්ත වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

2002 වසරේ දී පාළමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වුව ද පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එහි කටයුතු 2008 වසර දක්වා නවතා දමා තිබුණි.

කෙසේ වෙතත් පාලම ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කර ඇති අතර 2016 වසරේ දෙසැම්බර් මාසය වන විට එහි කටයුතු අවසන් කිරීමට හැකි වනු ඇති බව ඉන්දීය බලධාරීන් පවසයි.

දුම්රිය මාර්ගය සහිත ලොව උසම පාළම ලෙස මේ වන විට සැලකෙන්නේ චීනයේ ගුයිෂු ප්‍රාන්තයේ ඉදිකර ඇති මීටර් 275ක උසින් යුතු පාළමය.