බස් ගැන පැමිණිලි පැහැදිලිව එවන්න

බස් ගැන පැමිණිලි පැහැදිලිව එවන්න

July 10, 2014   05:07 pm

මේ වසරේ ගතවු කාලය තුළ පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි 167ක් ලැබි ඇති බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී රත්නායක මහතා පවසයි.

පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ලබා දී ඇති ක්ෂණික දුරකථන අංකය හරහා ලැබී ඇති එම පැමිණිලි අතර පළාත්බද බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි 94ක් වන බව අමාත්‍යවරයා කියයි.

කෙසේ වෙතත් මගී ජනතාව විසින් ඉදිරිපත් කරන අදාළ පැමිණිලි අතරින් වැඩි ප්‍රමාණයක් අඩුපාඩු සහිත බැවින් විමර්ශනය කිරීම දුෂ්කර වී ඇති බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

මේ හේතුවෙන් 0716 550 000 යන දුරකථන අංකයට පැමිණිලි ඉදිරිපත් කිරීමේ දී බස් රථයේ ලියාපදිංචි අංකය, මාර්ග අංකය, වේලාව යනාදී කරුණු පැහැදිලිව සඳහන් කළ යුතු බව අමාත්‍යවරයා පවසයි.

ගුණාත්මක මගී ප්‍රවාහන සේවාවක් රට තුළ ස්ථාපිත කිරීමේ අරමුණින් පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යංශය විසින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති අතර කාන්තාවන්ට බස් රථ තුළදී සිදුවන හිරිහැර අවම කිරීම සඳහා බස් රථ තුළ කැමරා සවි කිරීම කෙරෙහි ද අවධානය යොමුව ඇති බව අමාත්‍යවරයා පවසයි.