ජානක පෙරේරා ඝාතන සිද්ධියේ ප්‍රධාන විත්තිකරුට මරණීය තර්ජන

ජානක පෙරේරා ඝාතන සිද්ධියේ ප්‍රධාන විත්තිකරුට මරණීය තර්ජන

April 24, 2014   03:29 pm

මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන විත්තිකරුට බන්ධනාගාර නිලධාරීවරයෙකු විසින් මරණීය තර්ජන එල්ල කළ බවට ඇති චෝදනාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරණු වාර්තා කරන ලෙස උතුරු පළාත් බද මහාධිකරණ විනිසුරු විසින් බන්ධනාගාර අධිකාරියට නියෝග ලබා දී තිබේ.

රුසියාවේ හිටපු තානාපතිවරයෙකු වන මෙජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්යෙන් ප්‍රධාන විත්තිකරු වන උමාර් හබිතාබි මහතාට මෙලෙස මරණීය තර්ජන එල්ල කර ඇති බවට වාර්තා වෙයි.

අනුරාධපුර බන්ධනාගාරයේ සිට මැගසින් බන්ධනාගාරයට රැගෙන යන අවස්ථාවේදී හා මැගසින් බන්ධනාගාරයේ සිට යළි අනුරාධපුර බන්ධනාගාරය දක්වා රැගෙන යන අවස්ථාවලදී ‍අදාළ බන්ධනාගාර නිලධාරිවරයා විසින් තමාට මරණීය තරජන එල්ල කරන බව අදාළ නඩුව අද(24) කැඳවු අවස්ථාවේදී විත්තිකරු විසින් පවසා තිබේ.

තමාට එරෙහිව ඇති චෝදනා පිළිගන්නා ලෙසත් නැතහොත් වෙඩිතබා ඝාතනය කරන බවට අදාළ බන්ධනාගාර නිලධාරිවරයා විසින් තමාට තර්ජනය කරන බව ඔහු මෙලෙස අධිකරණයට කියා සිටියේය.

විත්තිකරුගේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් සහ විධිමත් පරීක්ෂණයක් පවත්වා නොපමාව අධිකරණයට කරුණු වාර්තාකරන ලෙස මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් අනුරාධපුර බන්ධනාගාර අධිකාරි තුෂිත උඩුවර මහතාට එහිදී නියෝග කර ඇති බව වාර්තා වෙයි.

ජනරාල් ජානක පෙරේරා මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ චෝදනා ලබා සිටි ඇති අතර ඉන් සැකකරුවන් තුන් දෙනෙකු අදාළ චෝදනා වලින් නිදහස් කර මුදා හැර තිබුණි.

2008 වර්ෂයේ ඔක්තෝම්බර් මස 5 වන දින ජනරාල් ජානක පෙරේරා මහතා අතුළු 29 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වු අතර උතුරු මැද පළාත් සභාවේ එ.ජා.ප. හිටපු මන්ත්‍රී සුනිල් දිසානායක, අනුරාධපුර ශික්ෂණ රෝහලේ හිටපු හදිසි නාගරික මරණ පරීක්ෂක වන ආර්. එම්. රත්නායක, ගුරු උපදේශක උදිත හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පුද්ගලයින් 29ක් එහිදී ජීවිතක්ෂයට පත්විය‍.

ඒ අතර අනුරාධපුරයේ හිටපු කීර්තිමත් දක්ෂ ජ්‍යේෂ්ඨ නීතිඥයෙකු වන ඒ.සී.එස්.හමීඩ්, නීතිඥ එම්. අනුර්දීන්, සහ නීතීඥ තනුජා රාජපක්ෂ යන මහත්ම මහත්මියන්ද බෝම්බ ප්‍රහාරයෙන් එම ස්ථානයේදීම මිය ගියේය.

එසේම අනුරාධපුර මහ නගර සභාවේ එ.ජා.ප. පක්ෂ මන්ත්‍රී වෛද්‍ය නන්ද පුෂ්පකුමාර මහතා ඇතුළු තවත් පුද්ගලයින් 50ට පිරිසක් සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.