හම්බන්තොට සිදුවීම ගැන මට කනගාටුයි!

හම්බන්තොට සිදුවීම ගැන මට කනගාටුයි!

April 24, 2014   02:14 pm

ශ්‍රීලංනිප ආසන සංවිධායකවරයා ලෙස තමන් කටයුතු කරන තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ හම්බන්තොට ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට මුහුණදීමට සිදුවූ ඉරණම පිළිබඳ තමන් අතිශය කනගාටුවට පත්වන බව කථානායක චමල් රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට රටේ සංවර්ධන ව්‍යාපෘති මෙන්ම ඒවායේ වියහියදම් පිළිබඳව සොයා බැලීමට සාධාරණ අයිතියක් ඇති බව තමන් පිළිගන්නා වග කථානායකවරයා අද(24) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

තමන්ද විපක්ෂයේ සිටියදී එවක ආණ්ඩුවේ මෙවැනි ව්‍යාපෘති පිළිබඳ සොයා බැලූ බවත්, ඒ වෙනුවෙන් පවත්නා අයිතිය සියලුදෙනාම පිළිගත යුතුව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

එහෙත් හම්බන්තොටදී මන්ත්‍රීවරුන්ට මුහුණදෙන්නට සිදුවූයේ ඉතාමත් කනගාටුදායක තත්ත්වයකට බවත්, එවැන්නක් සිදුනොවිය යුතුව පැවති බවත් හෙතෙම අවධාරණය කළේය.

කෙසේ වෙතත් මෙවැනි සිදුවීමක් උද්ගතවීම සම්බන්ධයෙන් ඇතැම් අමාත්‍යවරුන්,මෙන්ම අමාත්‍යංශ නිලධාරීන්ද,ආයතන ප්‍රධානීන්ද වගකිවයුතුව ඇති බව කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.