සාරධර්ම විරෝධී කටයුතු වලට ඉඩ දෙන්න එපා

සාරධර්ම විරෝධී කටයුතු වලට ඉඩ දෙන්න එපා

April 24, 2014   01:19 pm

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යපෘති පනත යටතේ යෝජිත ව්‍යාපෘති හරහා සාරධර්ම විරෝධි කටයුතු වලට කිසිසේත් ඉඩ නොතබන ලෙස ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මල්වතු පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ,අස්ගිරි පාර්ශවයේ මහනායක අති පුජ්‍ය උඩුගම ශ්‍රි බුද්ධරක්ඛිත, අමරපුර මහ නිකායේ මහනායක අති පුජ්‍ය දවුල්දෙන ඤාණීස්සර, රාමඤ්ඤ මහ නිකායේ මහනායක අති පුජ්‍ය නාපානපේමසිරි යන නාහිමිවරුන්ගේ අත්සනින් යුතුව අදාළ ලිපිය යොමු කර ඇති බව සඳහන් වෙයි.

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යපෘති පනත යටතේ සඳහන් වන අනුශංගික පහසුකම් සැලසීම යන යෙදුම පිළිබඳ නිශ්චිත අර්ථකථනයක් දක්වා නොමැති වීම සියලු දෙනාගේ සැකයට හේතුවී ඇති බව මහනායකහිමිවරු පෙන්වා දෙයි.

එම යෙදුම ඇතුළත් කිරිම මගින් සූදුව, ඔට්ටු ඇල්ලීම, සුරාව හා ගණිකා වෘත්තිය වැනි දුරාචාරයන් ක්‍රියාත්මක වීමට ඉඩ ප්‍රස්තාව සැලසෙනු ඇති බව උන්වහන්සේ පවසයි.

මිට පෙර මෙබදු නීති අණ පනත් වල වචනාර්ථයේ පැවති දුර්වලතා ප්‍රයෝජනයට ගනිමින් නීතියෙන් මග හැර යෑමේ සිදුවීම් විශාල වශයෙන් සිදුවු බව ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් වෙයි.

යෝජිත ව්‍යාපෘති මගින් සූදුව, ඔට්ටු ඇල්ලීම, සුරාව හා ගණිකා වෘත්තිය වැනි දුරාචාර කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වන ලෙස ඍජු අර්ථකථනයන් පැහැදිලිව දක්වා අදාළ පනත සංශෝධනය කිරිමට පියවර ගන්නා ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියි.

රටේ සංවර්ධනයේ නාමයෙන් සංචාරක ව්‍යාපාර ඉලක්ක කරගනිමින් සූදුව, ඔට්ටු ඇල්ලීම, සුරාව හා ගණිකා වෘත්තිය වැනි දුරාචාර සඳහා පහසුකම් සැලසීමට මග පෑදෙන්නේ නම් එය ජාතික, ආගමික, සංස්කෘතික සමාජ පරිහානියට හේතුවනු ඇති බව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පෙන්වා දෙයි.