ජාතික ප්‍රතිශක්තීකරණ ප්‍රතිපත්තිය ලබන සතියේ එළිදකියි

ජාතික ප්‍රතිශක්තීකරණ ප්‍රතිපත්තිය ලබන සතියේ එළිදකියි

April 24, 2014   08:28 am

ජාතික ප්‍රතිශක්තීකරණ ප්‍රතිපත්තිය ලබන සතිය තුළ හඳුන්වා දෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් සකස් කර ඇති මෙම ප්‍රතිපත්තිය එළඹෙන 29 වන දින සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දීමට නියමිතය.

ලෝකයේ සාර්ථකවම ප්‍රතිශක්තීකරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන රට ලෙස ශ්‍රී ලංකාව මේ වනවිට තේරීපත්ව තිබේ.

අමෙරිකාව මීට පෙර එම තත්ත්වයට පත්ව තිබුණ ද ඔවුන් එරටින් තුරං කර ඇති ඇතැම් රෝග සම්බන්ධයෙන් වු ප්‍රතිශක්තීකරණ වැඩසටහන් නතර කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් රටින් තුරං කළ රෝග සඳහා ද අඛණ්ඩව ප්‍රතිශක්තීකරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

වසුරිය, සරම්ප, පිටගැස්ම , කක්කල්කැස්ස , පෝලියෝ යන රෝග මෙරටින් තුරං කර වසර ගණනාවක් ගතවුවත් අදාළ රෝග සඳහා ලබා දෙන ප්‍රතිශක්තීකරණ එන්නත් අඛණ්ඩව ලබා දෙන බබ සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

මෙම ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙළ ඉදිරියටත් සිදුකිරීම සඳහා ශක්තිමත් නෛතික රාමුවක් සකස් කිරීමේ අරමුණින් ජාතික ප්‍රතිශක්තීකරණ ප්‍රතිපත්තිය හඳුන්වා දී තිබේ.