පරිවාස කාලයේදී පෝල් ලංකාව අතහරී?

පරිවාස කාලයේදී පෝල් ලංකාව අතහරී?

April 19, 2014   04:19 pm

වසර 18ට පසු ලෝක කුසලානයක් ශ්‍රී ලංකාවට ගෙනදීමට මුල් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු‍ගේ සහය පුහුණුකරු ලෙස පත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස දෙවැනි වතාවටත් පීටර් මුවර්ස් පත් කර තිබේ.

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම වරක් නියෝජනය කළ හිටපු නායකයෙකු වන ඇන්ඩි ෆ්ලවර්ගෙන් පසු පීටර් මුවර්ස් මෙලෙස පත් කර ඇත.

කෙසේ වුවද මුවර්ස‍්ගේ ප්‍රධාන සහය පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් පත්කර ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය කිහිපයක්ම අනාවරණය කර තිබේ.

පෝල් ෆාබ්‍රේස් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්කළ බව ඉකුත් වසරේ දෙසැම්බර් 20 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ඔහුගේ කොන්ත්‍රාත් කාලය වසර දෙකක් වන අතර ඉන් මාස හයක් පරිවාස කාලයකට යටත්ය.

ඒ අනූව පෝල් ෆාබ්‍රේස් තවමත් ගත කරමින් සිටින්නේ පරිවාස කාලයය.

විදෙස් මාධ්‍ය පෝල් ෆාබ්‍රේස් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස පත්වීමට නියමිත බව වාර්තාකරද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ ගැන සත්‍යතාව දැන ගැනීමට ඔහුව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ බව කියයි.

කෙසේ වුවද අවාසනාවකට මෙන් මේ දක්වා ඔහුව සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව එම ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහෙත් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් මේ ගැන විමසීමක් කළ විට පෝල් ෆාබ්‍රේස් එරට සහය පුහුණුකරු ලෙස බඳවා ගැනීමට අදහසක් ඇති බැව් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම්දී තිබේ.

කෙසේ වුවද මෙහි සත්‍ය අසත්‍යතාව දැන ගැනීමට ‍ පෝල් ෆාබ්‍රේස් සම්බන්ධ කරගත යුතුම බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මතය වී ඇත.

මේ අතර එංගලන්තයේ නව පුහුණුකරු, කළමනාකරු, ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ඇතුළු කිහිප දෙනෙකු එරටදී අද විශේෂ මාධ්‍ය හමුවක්ද කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පෝල් ෆාබ්‍රේස් යටතේ ශ්‍රී ලංකාව පසුගිය කාලයේ සහභාගි වූ තරඟ 18න් එක් තරඟයක් පමණක් පරාජයට පත්ව ඇති බවද මාධ්‍ය වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.