කොල්ලකෑම් දෙකකින් පසු මීගමුවේ ආරක්ෂාව තරකරයි

කොල්ලකෑම් දෙකකින් පසු මීගමුවේ ආරක්ෂාව තරකරයි

April 19, 2014   02:37 pm

මීගමුව නගරයට ලබාදී ඇති ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

පසුගිය දින කිහිපය තුළ මිගමුව ප්‍රදේශයේ මහා පරිමාණ කොල්ලකෑම් කිහිපයක් සිදුවුණි.

විශේෂයෙන්ම වෙළඳසැල් දෙකකට ආයුධ සන්නද්ධව කඩා වැදුණු පුද්ගලයින් පිරිසක් මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධීන් ඒ අතර ප්‍රධාන වේ.

මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මීගමුව නගරය තුළ ගිනි අවි සහිතව පොලිස් නිලධාරින් ආරක්ෂක කටයුතු වල යෙදවීමට පොලිසිය තීරණය කර ඇත.

එමෙන්ම මීගමුව සංචාරක කලාපයට ද මෙලෙස ගිනි අවි සහිතව පොලිස් නිලධාරින් යෙදවිමට තීරණය කළ බව මීගමුව කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජයන්ත ලියනගේ මහතා සඳහන් කළේය.

ඉදිරි ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් පොලිස් නිලධාරින්, ව්‍යාපාරිකයින්, සිවිල් සංවිධාන ක්‍රියාකාරින්, දේශපාලඥයින් ඇතුළු මහ ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් අද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් මීගමුවේ දී පැවැත්වුණි.

එම අවස්ථාවට එක්වෙමින් මීගමුව කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජයන්ත ලියනගේ මහතා මෙම අදහස් පළ කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.