බන්ධනාගාරයට තාප්පෙන් පැන්න පාර්සලයේ හෙරොයින්

බන්ධනාගාරයට තාප්පෙන් පැන්න පාර්සලයේ හෙරොයින්

April 16, 2014   07:07 am

වැලිකඩ කාන්තා බන්ධනාගාරයට ලැබුණු පාර්සලයක තිබී හෙරොයින් මත් කුඩු පැකට් 08ක් සොයාගෙන තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටියේ ඊයේ පෙරවරුවේ බන්ධනාගාරයේ තාප්පය උඩින් කිසියම් පුද්ගලයෙකු විසින් අදාළ පාර්සලය බන්ධනාගාරය තුළට වීසි කර ඇති බවයි.

සබන් කැට කිහිපයක් සමඟ ඉතා සුක්ෂමව අසුරා තිබු හෙරොයින් පැකට් 08ක් ජංගම දුරකථන 02ක් සහ සිම් කාඩ්පත් 05ක් එම පාර්සලය තුළ තිබී සොයාගෙන තිබේ.

මීට පෙර අවස්ථා කිහිපයක දීද මෙලෙස බන්ධනාගරයේ තාප්පය උඩින් මෙවැනි නීති විරෝධී ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් ලැබී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මෙලෙස බන්ධනාගාරයට නීති විරෝධී ද්‍රව්‍ය ලබාදෙන පුද්ගලයින් පිළිබඳව සහ බන්ධනාගාරය තුළ ඒවාට සහයෝගය දක්වන පුද්ගලයින් පිළිබදව දැඩි අවධානයෙන් පසුවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියි.