බොදුබලයට ත්‍රස්ත සහතිකයක් - සිංහල බෞද්ධයන්ට කළ බලපෑමක් - බොදුබල සේනා

බොදුබලයට ත්‍රස්ත සහතිකයක් - සිංහල බෞද්ධයන්ට කළ බලපෑමක් - බොදුබල සේනා

April 15, 2014   04:50 pm

ලොව පුරා ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී සංවිධාන වර්ග කරන ලෝක ප්‍රසිද්ධ “ට්‍රැක්” නැමැති ආයතනය ශ්‍රී ලංකාවේ බොදු බල සේනා සංවිධානය ද ත්‍රස්තවාදී සංවිධානයක් ලෙසට නම් කර තිබේ.

අමෙරිකාව කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන “ටෙරරිසම් රිසර්ච් ඇන්ඩ් ඇනලසිස් කොන්සෝටියම්”' හෙවත් “ට්‍රැක්” ආයතනය ලොවපුරා ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පර්යේෂණ ආයතනයක් ලෙස සැලකෙයි.

ට්‍රැක් සංවිධානය යනු ලොව විවිධ ජාතීන්වලට අයත් බුද්ධිමතුන්, ( අධ්‍යාපන, ආරක්ෂක, විද්වතුන්) වැනි පර්යේෂකයන් 3800 ක් පමණ එක්ව කටයුතු කරන ආයතනයකි.

එම ආයතනය ලෝකයේ ත්‍රස්ත සංවිධාන රැසක් ලැයිස්තුගත කර ඇති අතර බ්‍රිටිෂ් ටැමිල් ෆෝරම් හා කැනේඩියන් ටැමිල් කොංග්‍රස් යන ත්‍රස්තවාදී සංවිධාන ද ඒ අතර‍ වේ.

ඒ අනූව එම ආයතනය විසින් ශ්‍රී ලංකාවේ බොදුබල සේනා සංවිධානය හා එහි ක්‍රියාකාරකම් පිළිබඳව ද අධ්‍යයනය කර එම සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙසට නම් කර ඇත.

ශ්‍රී ලංකාවේ මුස්ලිම්, කතෝලික ආගමික කොටස්වලට එරෙහිව බොදුබල සේනා සංවිධානය ඔවුන්ගේ ක්‍රියාකාරකම් වල නිරත වන බවත් එකී ආගමික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කර ඇතැයිද ට්‍රැක් ආයතනය සඳහන් කරයි.

එසේම එම සංවිධානය ලංකාවේ රජය සමග සමීපව කටයුතු කරන බවත් තවද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එකී සංවිධානය සමීපව ක්‍රියා කරන බවද ට්‍රැක් ආයතනය පෙන්වාදෙයි.

තවද බොදු බල සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් බුරුමයේ අෂින් විරතු නැමැති ත්‍රස්තවාදය පතුරුවන බව කියන හිමිනමක් සමග එකට සිටින ඡායා රූපයක්ද පළ කිරීමෙන් බොදුබල සේනා සංවිධානයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ප්‍රශ්නයක් මතුවන බවත් අදාළ ආයතනය සඳහන් කරයි.

කෙසේ හෝ මෙම චෝදනා සම්බන්ධයෙන් අද දෙරණ බොදුබල සේනා සංවිධානයේ ප්‍රතිචාරය විමසා සිටින ලදී.

ඊට පිළිතුරු ලබාදුන්නේ එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතාය.

හෙතෙම කියා සිටියේ ‍බොදුබල සේනා සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීම හාස්‍යයට කරුණක් බවයි.

බොදුබල සේනා සංවිධානය යනු ත්‍රස්තවාදී සංවිධානයක් නොව බොහෝම විවෘතව කටයුතු කරන සංවිධානයක් යැයි ඔහු පෙන්වාදුන්නේය.

එසේම අදාළ ආයතනය විසින් බොදුබල සේනා සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර ඇත‍්තේ තම සංවිධානයෙන් ඒ ගැන කිසිදු විමසීමක් නොකර බවද විතානගේ මහතා පැවසීය.

එය ප්‍රජාතන්ත්‍රවාදී කියා ගන්නා ආයතනයක ලක්ෂණයක් නොවන බවත් මේ නිසා ඒ ගැන කනගාටුවන බවත් ඔහු කියා සිටියේය.

තවද සුළුතරයක් වන සිංහල බෞද්ධ ජනතාවට ලෝකයෙන් එල්ල වන බලපෑම මෙයින් පෙන්නුම් කරන බවද ඩිලන්ත විතානගේ මහතා අවධාරණය කළේය.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් බුරුමයේ අෂින් විරතු නැමැති ත්‍රස්තවාදය පතුරුවන බව කියන හිමිනමක් සමග එකට සිටින ඡායා රූපයක්ද පළ කිරීම ගැන කළ විමසීමේදී විතානගේ මහතා කියා සිටියේ එය බුරුමයට ගිය අවස්ථාවක් ගන්නා ලද ඡායා රූපයක් බවයි.

විරතු හිමියන් ත්‍රස්තවාදී කටයුතු නොකරන බවත් උන්වහන්සේ එරට පිරිවෙනක උගන්වන හිමිනමක් බවත් විතානගේ මහතා පෙන්වාදුන්නේය.

එසේම උන්වහන්සේ ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ නම් එල්.ටී.ටී.ඊය වැනි තහනම් ත්‍රස්තවාදී සංවිධාන සමග සාකච්ඡා කළ ඡායා රූපගත් නෝර්වේ වැනි රටවල් ද ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කළ යුතු බව අවධාරණය කළේය.

මේ නිසා බොදුබල සේනා සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවත් එය සිංහල බෞද්ධ ජනතාවට ලොව සෙසු රටවලින් එල්ල වන බලපෑමේ තරම මනාවට පෙන්නුම් කරන බවත් ඩිලන්ත විතානගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.