ලංකාවේ යුද්ධයට ඉන්දීය හමුදාව යවලා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ලංකාවේ යුද්ධයට ඉන්දීය හමුදාව යවලා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

April 15, 2014   01:13 pm

2009 වසරේදී එල්.ටී.ටී.ඊයට එරෙහි අවසන් මෙහෙයුමට සහය දැක්වීම සඳහා ඉතා රහසිගත ලෙස ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට එවා ඇති බවට චෝදනා නගමින් එරට අධිනිතීඥයෙකු ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඉන්දියාවේ දිල්ලි හි ක්‍රියාත්මක වන ද්‍රවිඩ අධිනීතීඥ සංගමයක ‍ලේකම්වරයෙකු බව කියන අධිනීතීඥ රාම් සන්කර් නැමැත්තා විසින් මෙම පෙත්සම ගොනු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

එම පෙත්සම මගින් ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වාර්ගික ගැටුමේ අවසන් අදියර සඳහා ඉන්දීය හමුදාව ද සෘජුවම සහභාගි කරවා ඇති බවයි.

සික් ජාතික හමුදා ප්‍රධානියෙකුගේ අණදීම යටතේ ඉන්දීය හමුදාව, ගුවන් හා නාවික හමුදා භටයින් ශ්‍රී ලංකාවට එවා ඇති බවත් මේ සඳහා ඉන්දීය පාර්ලිමේන්තුවේ හෝ ජනපතිගේ අවසරය ගෙන නොමැති බවත් හෙතෙම පෙන්වාදී ඇත.

ඒ අනූව මෙම සිද්ධිය පිටුපස සිටින්නේ කවුදැයි සොයාබැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවකට පැවරිය යුතු බවත් යුද ගැටුම්වලින් පීඩාවට පත්වූ පවුල්වලට සහන සැලසිය යුතු බවත් අදාළ පෙත්සම මගින් පෙන්වාදී තිබේ.

ඉන්දීය හමුදාව නීති විරෝධි ලෙස ශ්‍රී ලංකාවේ වාර්ගික ගැටලුවට භාවිතා කර ඇති බවත් ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය ඉන්දියා‍වේ ප්‍රශ්නයක් නොවන බවත් හෙතෙම එමගින් අවධාරණය කර ඇත‍.

අදාළ පෙත්සම්කරු එමගින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් ජාත්‍යන්තර මානුෂිය කටයුතු සඳහා ශ්‍රී ලංකාවට කිහිප වරක්ම ගිය බවයි.

එසේ ගිය අවස්ථාවක ඉන්දීය හමුදා ප්‍රධානියෙකුගේ අණදීම යටතේ කිලිනොච්චි හා මුලතිව් ප්‍රදේශවල මෙහෙයුම් සිදුකෙරුණු බවට තමන්ට ද්‍රවිඩ සරණාගතයින් පැවසූවේ යැයි ද එකී පෙත්සම මගින් ඔහු පෙන්වාදී ඇත.

ඉකුත් සතියේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇතැයි කියන එම පෙත්සම ලබන 17 වැනිදා විභාගයට ගැනීමට නියමිත බවද පැවසෙයි.

ඉන්දීය ස්‍වදේශ කටයුතු අමාත්‍යංශය, ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශ හා කැබිනට් මණ්ඩලය එකී පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇතැයි සඳහන්ය.